‘පුංචි තිරය, සිනමාව සහ වේදිකාව හැඩ කරමින්  සිය රංගන හැකියාව හරහා කෙටි කාලයකින් ප්‍රේක්ෂකයින් අතර ජනප්‍රියත්වයක්  ලැබු ඇය  ශාලිකා එදිරිසිංහ ,   ඇයගේ අලුත් තොරතුරු ගැන කියන්න මෙවර  මියුලැසි එක්ක සොදුරු පිළිසදරකට එක්වුණා.


ප්‍ර- මේ දවස්වල අලුත් තොරතුරු මොනවද?

පි- මේ දවස්වල නම් ලක්ෂ්මන් පුෂ්ප කුමාර  මහතාගේ  ආදර අසපුව, ගිහාන්  රෝහණ මහතාගේ  බිඟු  ,චරිත් අබේනායකගේ හිද්දලයා කියන ටෙලි නාට්‍ය වල රූගත කිරීම් වගේම  මහින්ද  පතිරගෙ මහත්මයාගේ  ‘අහිංසක ප්‍රයෝගය  සහ කිත්සිරි හේවගේ මහත්මයාගේ නෙයිනගේ සූදුව ‍‘ වේදිකා නාට්‍ය වල වැඩ කටයුතු කරගෙන කාර්යබහුලත්වය එක්කම කාලය ගෙවෙනවා.

ප්‍ර- පහුගිය කාලයේදී ඒ තරම් පේන්න හිටියේ නැහැ.  ඉදිරියේදී මොනවගේ නිර්මාණ වලින් දකින්න පුළුවන් වෙයිද?

පි-වැඩ ඉවර කරපු නිර්මාණ කිහිපයක්ම ළගදි පුංචිතිරය, සිනමාව හරහා දකින්න පුළුවන් වෙයි. ඒ වගේම මේ දවස්වල  ස්වර්ණවාහිනී නාලිකාවේ  විකාශය වෙනවා  ‘යකඩ කහවනු‘ සහ දෙරණ නාලිකාවේ නාටක මාරයි හතේදී මාරයි ටෙලි නාට්‍ය . ඒ වගේම තුන්වරක් තුන  සහ බුද්ධි කියන චිත්‍රපට  ළගදිම  බලන්න පුළුවන් 

ප්‍ර- රංගන ශිල්පිනියක් වෙන්න ශාලිකාට අවස්ථාවක් ලැබෙන්නේ කොහොමද?

පි-පාසල් යන කාලේ ඉදන්ම  කලාවට ගොඩක් අදරේ කළා. පාසල් වේදිකා නාට්‍ය හරහා   රගපාන්න අවස්ථාව ලැබුණා. නිලියක් වෙනවා කියලා කවදාවත් හිතුවේ නැහැ.  නැටුම් ගුරුවරියක් වෙන්න කැමැත්තේන් හිටියේ.  උසස් පෙළත් අවසන් වුණාට පස්සේ  තමයි මට ලැබුණ ආරාධනයකින් සිවදාසන් මහත්මයාගේ  ‘කිදුරු නදිය‘ ටෙලි නාට්‍යයේ අවස්ථාවක් ලැබෙන්නේ ඒ මගේ පළමු ටෙලි නාට්‍ය.

ප්‍ර-ගුරුවරියක් නොවී රංගන ශිල්පිනයක් වෙන්න ගත්ත ඒ තීරණය වැරදුණා කියලා හිතෙන අවස්ථා නැද්ද?

පි-  ගුරුවරික් වෙන්න කැමැත්ත තිබුණට ඒ අවස්ථාව නොලැබුණා කියලා මං දුක් වෙන්නේ නැහැ.මොකද ගුරුවරියක් වගේම  රංගන ශිල්පිනියක් කියන්නෙත්  නිර්මාණ හරහා සමාජයට යහපත් දේවල් අරන් යන්න පුළුවන් කෙනෙක්.එක තැනකට පමණක් සීමා නොවී සමාජයේ බොහෝ පැති නිරූපණය කරන්න පුළුවන් .ඒ නිසා ගත්තු තීරණය වැරදුණේ නැහැ .

ප්‍ර-ඔබ එක වගේ චරිත වලට කොටුවෙලා කියලා හිතෙන්නෙ නැද්ද?

පි- එකම තැනක  කොටු වෙලා කියලා නම් හිතෙන්නේ නැහැ. හැම චරිතයක්ම වගේ කාලෙන් කාලෙට ලැබිලා තියෙනවා.ගොඩක් අය අහනවා ඇයි නපුරු චරිත කරන්නේ ,සමහරු කියනවා අහිංසක චරිතවල වැඩියි  කියලා මං හිතන්නේ ඒ එක එක්කෙනාට වැඩිපුර  දකින්න ලැබෙන විදිය වෙන්නැති.

ප්‍ර-මෙතෙක්  රග පෑ චරිත අතරේ වැඩිපුර කැමැති චරිතයක් වගේම  මෙතෙක් නොලැබුණ  කැමැත්තක් දක්වන චරිතයක් තියෙනවද?

පි-මෑත කාලයේ  ලැබුණ චරිත වලින්  සංජය ගුණවර්ධනගේ ‘ඉහිරුණ කිරි‘ නාට්‍යයේ  පොඩ්ඩිගේ චරිතයට කැමැතියි. ඒ වගේම මෙහෙණින් වහන්සේ කෙනකුගේ චරිතයක් ලැබෙනවනම් කරන්න  ගොඩක් ආසයි.

ප්‍ර- අද ටෙලි නාට්‍ය කලාවේ දේශිය  නිර්මාණ වලට වඩා විදේශිය නිර්මාණවලට ඉඩ වෙන්වෙලා වැඩයි. ඒ නිසා දේශිය රංගන ශිල්පියාට සහ නිර්මාණවලට ලොකු අසාධාරණයක්  නේද?

පි-රගපෑම වෘත්තිය කරගත් කලා කරුවන් පිරිසක් ඉන්නවා. ඒ අයට  වගේම අපේ දේශිය නිර්මාණ වලට  ලොකු  අසාධාණයක් මේ හරහා වෙනවා. විදේශිය දේ පිළිබදව දැනුමක් ප්‍රේක්ෂකයා ගත්තට කමක් නැහැ. මේ දේවල්  තියෙන්න ඕනි නමුත් අපේ නිර්මාණවලට ඉඩක් නැති වෙනවා නම් එක ගැටලුවක්. අද අපේ ටෙලි නාට්‍යවලට විකාශන වෙලාවක්  නැහැ.රංගන ශිල්පීන් වගේම  හඩකැවීම් ශිල්පිනුත් ඉන්නවා.  මං හිතන්නේ  අපේ දේ රැක ගන්න ගමන් මේ පාර්ශව දෙකටම අවස්ථාව ලබා දෙනවනම් හොදයි.ඒ හැම දෙයකම යම්  ප්‍රතිපත්තියක් ක්‍රමානුකූල බවක් තියෙන්නම ඔනි

ප්‍ර-එදා වගේම අදත් ජනප්‍රියත්වයක් ඔබට තියෙනවා කියලා හිතනවාද?

පි-ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉහළින් තියෙනවා.  මං හිතන්නේ රංගන ශිල්පියකුට ශිල්පිනියකට ලැබෙන උසස්ම සම්මානය තමයි ප්‍රේක්ෂක  ප්‍රතිචාර .

ප්‍ර-ගෙදර අයගෙන් ලැබෙන සහය ගැනත් මතක් කරමු නේද?

පි-  මුලදි නම් අම්මා ගොඩක් අකමැති වුණා,එත් දැන් මගේ හැම දේයකට ලගින් ඉන්නේ අම්මා.තාත්තා අයියලා තුන්දෙනයි ඉන්නේ අයියලා නම් විවහා වෙලා.ලොකු සහයක් ලැබෙනවා.

ප්‍ර-  ගෙදර අයගේ ආදරේ ඇරුණම ශාලිකාව ආදරෙන් බලා ගන්න තවත් කෙනෙක් 
 ඉන්නවා නේද?

පි- තවම නම් එහෙම විශේෂ කෙනෙක් නැහැ. හොදම දේ හොදම වෙලාවට සිදු  වෙයි කියලා හිතලා කාලයට ඉඩ දීලා බලන් ඉන්නවා.

ප්‍ර- ඉදිරි බලාපොරොත්තු මොනවද?

ප්‍ර- රංගන කටයුතු හොදින් කර ගෙන යන්න .  ඒ වගේම කාර්ය බහුලත්වය එක්ක මගේ ව්‍යාපාර කටයුතු අතරමග  නවත්වන්න වුණා. එ දේවල් නැවත ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. 



 (දිල්රුක්ෂි ග්‍රේරු)
أحدث أقدم