ලංකාවේ ප්‍රසිද්ධ තරු ගැන ලියැවෙන ජීවිත කතා පිටුපස හිදිමින්  ඔවුන් දිරිමත් කරන ආදරණියයන් ගැන  අපි කතා කරන්නේ ඉතාමත් කලාතුරකින් . ඒ නිසාම අපි ඔවුන් වෙනුවෙනුත්  ඉඩක් වෙන් කළා.  ‘තරුවකට බැඳිපෙම‘ තුලින්   මෙවර කාලය වෙන් කළේ  රංගන ක්ෂේත්‍රයේ තරුවක් ලෙස ප්‍රේක්ෂක  ආදරය දිනාගත් රංගන ශිල්පී ‘ විශ්ව කොඩිකාරගේ ආදරණිය බිරිද  ‘ එරන්දි  කොඩිකාරට යි.



ප්‍ර- කොහොමද  විශ්ව  හඳුණගන්නේ?

පි-  ඒ කාලේ  මම පදිංචිවෙලා හිටියේ ඔස්ට්‍රේලියාවේ. මගේ ගෙවල් තියෙන්නේ නුගේගොඩ. 2011 දි තමයි අපි මුලින්ම හමුවෙන්නෙ.  අපේ පවුලේ හිතවතෙක් තමයි රංගන ශිල්පි  සරත් චන්ද්‍රසිරි මහත්තයා . ඉතින්  අපි  නිවාඩුවකට ලංකාවට ආව දවසක  එයා කොල් කරලා කිව්වා ඔයගොල්ලන්ව හම්බවෙන්න විදියක් මට නෑ. වැඩ ගොඩක ඉන්නේ ඒ හින්දා පුළුවන්නම් කතා කරලා යන්න එන්න. මම අද  නුගේගොඩ ෂුටිං එකක ඉන්නේ කියලා. ඉතින්  අපේ ගෙදර ළග නිසා  අපි ගෙදර කට්ටිය ගියා. එදා දැක්කා අපි ටෙලි නාට්‍යවල දැක්ක නළුවා එතන ඉන්නවා.
ප්‍ර- දැක්ක පළවෙනි දවසෙ කතා කරන්න අවස්ථාවක් ලැබුණද‍?

පි- හලෝ කොහොමද කියලා විතරයි ඇහුවේ. වැඩිය මුකුත් කතා කරන්න අවස්ථාවක් ලැබුනේ නෑ.කොහොම හරි ටික දවසකට පස්සේ විශ්ව , සරත් චන්ද්‍රසිරි මහත්තයගෙන්ම මගේ ෆෝන් නම්බර් එක ඉල්ලගෙන  මට කතා කළා. ඒ විදියට තමයි හිතවත් වුණේ.

ප්‍ර- විශ්ව කොඩිකාර කියන නළුවා  හඳුනාගන්න  කලින් ඔහු  ගැන  විශේෂ  මතකයක් තිබුණද?

පි-  පිටරට ඉද්දි  නිදහස ගොඩක් තියෙනවා. ඉතින් අපි ගොඩක් ලංකාවේ ටෙලි නාට්‍ය බලන්න පුරුදු වෙලා හිටියේ. ඒ නිසා විශ්ව නළුවෙක් කියලා හොද මතකයක්  තිබුණා. එයාගේ පළවෙනි ටෙලි නාට්‍ය තමයි ‘පබළු‘ ඒ ටෙලි නාට්‍ය එක්ක විශ්ව ගැන හොද මතකයක් තිබුණා. ගෙදර අයත් කිව්වා හොද දක්ෂතාවක් තියෙන නළුවෙක් කියලා. විශ්ව කියන කෙනා අඳුණගන්න කළින් එහෙම කතා බහක් අපේ ගෙදර අය අතරෙ තිබුණා. ටීවී එකෙන් දැකලා තිබුණට එදා තමයි හැබැයින් දැක්කේ.

ප්‍ර- කතා කරපු පළවෙනි දවසේ මොකද කිවවේ? කොහොමද  ඒ හිතවත්කම ආදරයක් වුණේ ?

පි- මුලින්ම කතා කරද්දි  එයා කවුද කියන එක හඳුන්වලා දුන්නා. දෙන්නගෙම විස්තර හුවමාරු කරගත්තා . යාළුවෝ වියට තමයි අපි මුලින්ම දැන හඳුනගන්නේ. ටික දවසක් කතා කරගෙන යද්දී  එයා  මට යෝජනාව ගෙනාවා. එයා මට කැමැතියි මගේ අදහස මොකද්ද කියන එක ඇහුවා. මං ඒ වෙලාවේ කිව්වේ අපේ ගෙදර අයගෙන් අවසර ගන්න ඕනි කියලා. මොකද ගොඩක් සම්බන්ධකම් ඇති වෙනවා නැති වෙනවා. මට ඔනි වුණේ නෑ සම්බන්ධයක් පටන් ගෙන ඒක අතර මග නවත්වන්න . කවදා හරි යාළුවෙන කෙනාම බදින්න ඕනි කියලා තමයි මං හිතුවේ. ඒ නිසා  ගෙවල් දෙකින්ම  දැනගෙන සම්බන්ධය පටන් ගන්න මං කැමැති වුණා.

ප්‍ර- ඒ වෙද්දි විශ්ව ගැන කැමැත්තක් ඔයාගේ හිතේ තිබුණාද?

පි-  ටෙලිනාට්‍ය වලින් මුලින්ම දැකලා තියෙන නිසා ඒ දවස්වල  පොඩි ආකර්ෂණයක් තිබුණා. කතා බහ කරද්දි හොද කෙනෙක් කියන දේ ගොඩක්ම තේරුණා. ඒ නිසා ඒ වෙද්දි හිතේ  කැමැත්ත ඇති වෙලා තිබුණේ. ඒ නිසා තමයි එයා ඇහුව ගමන් ගෙදරින් අහන්න කිව්වේ.
ප්‍ර- ඉතින් ගෙදරින් කැමැත්ත ලැබුණද?

පි-  විශ්ව ඒ යෝජනාවට එකඟ වෙලා අපේ ගෙදරින් ඇහුවා. ගෙවල් දෙකෙන්ම විරුද්ධ වුණේ නෑ. ඊට පස්සේ අපි සම්බන්ධය පටන්ගත්තා. අදුරගෙන ටික කාලයයිනේ. දෙන්නා ගැලපෙනවද කියලා ටික දවසක් ආශ්‍රය  කරලා බලන්න කියලා ගෙදරින් කිව්වා.කොහොම හරි මම නිවාඩුවකටනේ ඒ දවස්වල ලංකාවට ඇවිල්ලා හිටියේ. අපි අඳුණගෙන ටික දවසකින්  ගෙදර අපි හැමෝම අයෙ රට ගියා. මාසෙකින් වගේ විශ්වත් ආවා.එන්න ප්‍රධානම හේතුව වුණේ  අපි දෙන්නා දෙපැත්තක ඉදලා  හරියට අවබෝධයක් ඇති කරගන්න බැරි නිසා. ඉතින් අපේ පවුලේ අය එක්ක මාසයක් වගේ අපි කට්ටියම හිටියා. 2013 දෙසැම්බර් 05 වෙඩින් එක අරගත්තේ.

 ප්‍ර- රංගන ශිල්පියෙක්ව විවාහ කරගන්න බයක් හිතුණේ නැද්ද?

පි- මම විශ්ව දිහා බැලුවේ එයා සාමාන්‍ය මනුස්සයෙක් විදියට. එයා රංගන ශිල්පියෙක් කියලා හිතලා කවදාවත් මං එයාට ආදෙරේ කළේ නැහැ. විශ්වාසය තමයි වැදගත් වෙන්නේ.එයා එදා ඉදන්ම අද වෙනකල් ඒ විශ්වාසය රැකෙන විදියට වැඩ කරලා තියෙනවා. ඉදිරියටත් එහෙම වෙයි.ඒ විශ්වාසය තමයි අපි  මේ තැන අද තියලා තයෙන්නේ.

ප්‍ර- සාමාන්‍ය ජිවිතේදි විශ්ව කියන්නේ මොනවගේ  කෙනෙක්ද?

පි- කෙනෙක් උදව්වක් ඉල්ලුවොත් නෑදෑයෙක්ද, යාළුවෙක්ද ඕනිම කෙනෙක්ට උදව් කරනවා. හරි නිහතමානි කෙනෙක්.
ප්‍ර- ඒ කලේ අමතක නොවෙන සිදුවීම් නැද්ද?
පි- එයා හරි ආදරෙයි එයාගේ කාර් එකට. ඒ දවස්වල තිබුණේ ‘අමා‘ ටෙලි නාට්‍යයේ තිබුණු කොළ පාට කාර් එක තමයි ඒ දවස්වල තිබුණේ. දවසක් අපිට ඒගොල්ලන්ගෙ ගෙදර එන්න කියලා අපි ගියා. එදා අපේ අම්මගේ උපන්දිනේ.අපි දළදා මාළිගාවට ගියා. ගිහින් එද්දි විශ්ව ඇහුවා කාර් එක ඩ්‍රයිව් කරන්න මට දෙන්නද කියලා. මම හා කියලා  ගෙදරට එනකල්ම වාහනය අරන් ආවා. කොහොම හරි විශ්වගේ ගෙදරට එන පාර ටිකක කැඩිලා.මට පුරුදු නැති නිසා වාහනය පාර කැඩුණ තැන් වලින් හොදට ගැස්සෙනවා. මේ කාර් එකටත් ආදරෙයි මට බනින්නත් බෑනේ යාළු වුණ අලුතනේ. ඒ වෙලාවෙ බනින්න බැරි කමට විශ්ව සැරෙන් කිව්වා මොකද්ද සූදු ඔයා කරන්නේ. ඔයා මේ  විදියට ඩ්‍රයිව් කරද්දි කාර් එකේ ටයර් ඩැමේජ් වෙනවානේ ඔයාට තේරෙන්නේ නැද්ද කියලා ඇහුවා. ඒක මට හොදට මතකයි

ප්‍ර- ගෙදර වැඩකටයුතුවලට විශ්වගෙන් ලැබෙන සහය කොහොමද?
පි- විශ්ව ගොඩක් කාර්යබහුලයි. මේ දවස්වල නම් ටෙලි නාට්‍ය හතරක් විකාශනය වෙන නිසා ඒවගේ රූගත කිරීම්වලට සහභාගි වෙනවා. හැබැයි ඒ මොන වැඩේ තිබුණත් අපි එක්ක ගෙවන්න කාලයක් එයා කොහොමහරි හදාගන්නවා.ඉන්න වෙලාවට ලොකු සහයක් ලැබෙනවා.මං තනියම ඉන්න වෙලාවට අම්මලාගේ උදව් ලැබෙනවා. මට තමයි ලොකු වැඩ කොටසක් කරන්න වෙලාතියෙන්නේ. ගැටලුවක් නොවෙන්න ඒ දේවල් අපි කරනගන්නවා. බබාලා දෙන්නගේ වැඩ වලට තමයි ලොකු කාලයක් කැප කරන්නේ. වැඩිමලා දුව කවින්ද්‍යා ගංගාදරි කොඩිකාර පුතා ඔනෙත් දනාල් කොඩිකාර මේ කාලය ඒ දෙන්නා ගැන විශේෂයෙන් බලන්න ඕනි කාලේ. විශ්වට විවේකය තියෙන වෙලාවට කරන දෙයක් තමයි බබලා දෙන්නව එළියට එක්ක යන ඒක.එයාට පුළුවන් හැම වෙලාවකම අපි එක්ක රැදෙනවා.

ප්‍ර- විශ්ව එරන්දිට දුන්න පළමුවෙනි තෑග්ග මතකද?
පි- මං ලංකාවේ පදිංචියට ආව දවසේ රත්තරං චේන් එකක් දුන්නා.මං ආපහු ලංකාවට ආව සතුටට වෙන්නැති එයා එහෙම කරන්න ඇත්තේ.

ප්‍ර- රංගන ශිල්පියෙක් විදියට අද විශ්වගේ ජනප්‍රියත්වය ගැන එරන්දිට මොකද හිතෙන්නේ?
පි- රසිකයෝ ,රසිකාවියෝ හැම තැනකම ඉන්නවා. රංගන ශිල්පියෙකුට කටකතා හැදෙනවා. ඒත් කිසිම කතාවක් අහන්නේ නැතිව මේ ක්ෂේත්‍රයේ රැදිලා ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ එයා හැම කෙනෙක් එක්කම ගනුදෙනු කරන විදිය එක්ක වෙන්න ඇති.රංගන ශිල්පියෙක් විදියට එයා ගොඩක් දක්ෂයි. එකම කාල සීමාවක ටෙලි නාට්‍ය හතරක් විකාශනය වෙන රංගන ශිල්පියා මෙයා වෙන්නැති මේ දවස්වල. මේ දවස්වල එයාගේ ටෙලි නාට්‍ය හතරක් විකාශනය වෙනවා.රෑ 8 ට අයි.ටි.එන් රූපවාහිනීයේ  විකාශ වෙනවා සසර සේයා, 8.30 ට නෙතු, ඒ වෙලාවෙම ජාතික රූපවාහිනියේ විමංසා, රෑ 9 ට සිරස නාළිකාවේ පැහරසරා කියන ටෙලි නාට්‍ය විකාශනය වෙනවා.එ අතරතුර උදේට අමා,පබළු කියන නාට්‍ය දෙක  නැවත විකාශක් වෙනවා. ඉතින් මේ නිර්මාණ වලින් විශ්ව දකින්න ලැබෙද්දී  නිහතමානි ආඩම්බරයක් හිතේ තියෙනවා. ඇත්තටම සතුටු වෙන්න පුළුවන් මට.

ප්‍ර-  විශ්ව  හැම වෙලාවෙම පෙම්වතාගේ චරිතය රඟපාද්දී ඉරිසියාවක් හිතෙන්නේ නැද්ද?

පි- මුල් කාලෙදි නම් ඇත්තට ඉරිසියා හිතුණා. ඒත් එයා තේරුම් කරලා දීලම දැන් මං එහෙම හිතන්නේ නැහැ.
ප්‍ර- අනාගතය ගැන මොන වගේ බලාපොරොත්තුවක්ද තියෙන්නේ?

පි- දරුවො දෙන්නා තමයි ලොකුම බලාපොරොත්තුව. ව්‍යාපාර කටයුත්තකටත් අතගහන්න හිතන් ඉන්නවා. ඒ වගේම මම මාකටින්,මිඩියා ගැන උපාධියක් හදාරලා තියෙනවා.අවුරුදු දෙකක කාලයක් මං ඔස්ට්‍රේලියාවේ රැකියාවක් කළා. ඉදිරියෙදී  ඉගෙන ගත්තු දෙයින් ඉදිරියෙදි සේවයක් කරන්න බලාපොරෙත්තු වෙනවා.ඒ හැමදේමට දරුවො දෙන්නා ලෙකු වෙනකල් ඉන්නවා.

කතාබහ- දිල්රුක්ෂි ග්‍රේරු  










أحدث أقدم