කටකාර, දඟකාර මේ සොඳුරු රුවැත්තිය පුංචි තිරයේ නිතර  දකින්න ලැබෙන ජනප්‍රිය චරිතයක්.    මේ දවස්වල නම්  “කම්බි දත්”  කියලා කිව්වම  අමුතුවෙන් හඳුන්වන්න දෙයක්  නැහැලු.    ඒ වගේම දත් කම්බිය  නිසාම මේ විදියට ලංකාවේ ජනප්‍රිය වුණ එකම නිවේදිකාවත් තමන් වෙන්නැති කියලා ඇය කියනවා.
   දෙරණ රූපවාහිනී  නාලිකාවේ විකාශය වෙන “චැම්පියන් ස්ටාර්ස්” වැඩසටහනින් මේ දවස්වල ඔබ අතරට එන  “සචිනි නිපුන්සලා” මෙවර මියුලැසි අපි එක්ක  පිළිසඳරකට එක් වුණා. 


ප්‍ර - ඉතින් මේ දවස්වල අලුත් තොරතුරු මොනවද?
පි - මේ දවස්වල නම් කැම්පස් එකේ වැකේෂන් පොඩි නිවාඩුවක්  තියෙනවා.  ඒත් කැම්පස් එකේ  අන්තිම කාලේ නිසා ඒ දේවල්වලට මහන්සි වෙනවා.  ඒ වගේම දෙරණේ චැම්පියන්ස් ස්ටාර් වැඩසටහන , ලිට්ල්  ස්ටාර් වැඩසටහන පළමු අදියර පටන් ගත්තා ඒ දේවල් එක්ක තමයි කාලේ ගෙවෙන්නේ. 

ප්‍ර -  මොකද මේ පේෂල හැමවෙලාවෙම කම්බි දත් කියලා  ඔයාට විහිළු කරන්නේ?
පි - එයා ඉතින් විහිළු කරන්නේ නැති වෙලාවක් තමයි හොයාගන්න අමාරු.    මගේ දත්වලට කම්බි දාලා තියෙන නිසා ඒක කියලා හැම වෙලාවෙම මාව බයිට් කරනවා. 

ප්‍ර - ඒ වගේ විහිළු කරද්දි කේන්ති යන්නේ නැද්ද?
පි - නෑ  විහිලුවට කියන දේවල් හින්දා මං ගණන් ගන්නේ නැහැ.    මටත් හිනා යනවා.   දැන් ඒ දේ පුරුදු වෙලා.     ඒ නිසාම ගොඩක් අය මාව තවත් හොඳින් දන්නවා.    අනික් එක්කෙනා මාධව අයියා.   අපි ඉතින් රංඩු වෙනවා යාළු වෙනවා.    ඒ දේවල් හිතේ තියාගෙන කියන දේවල් නෙවෙයිනේ.     මං වෙන්න ඇති දත් කම්බිය නිසා ප්‍රසිද්ධ වෙලා ඉන්න එකම නිවේදිකාව

ප්‍ර -උසස් අධ්‍යාපනය හදාරන්නේ වාණිජ පැත්තෙන් ඒත්  වෘත්තියෙන් දැන්  නිවේදිකාවක්  වෘත්තීන් දෙකක් ,  ඇයි කලා ක්ෂේත්‍රයම ඉදිරියට යන්න තෝර ගත්තේ නැත්තේ?
පි -  ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ  අලෙවිකරණ  පිළිබඳව  උපාධිය හදාරන්නේ.   මේ  අන්තිම අවුරුද්ද.    සාමාන්‍ය පෙළින් පස්සේ උසස් පෙළට කොමස් කළේ නම් ආසාවට, ඇත්තටම හොඳට ඉගෙනගෙන කැම්පස් යනවා  කියලා ලොකුවට හිතේ තිබුණේ නෑ.  ඒත් මගේ යාළුවෝ හොඳට ඉගෙන ගත්තා.   ඒ නිසාම මමත් නොදැනීම   ඒ ඉලක්කයට ගියා.   මම ටිකක් කටකාර නිසාත් වැඩිපුර පිරිස එක්ක ගැටෙන නිසා මං හිතුවා මට ගැළපෙන්නේ අලෙවිකරණය වගේ දෙයක් කියලා.   නිවේදනය කියන්නේ මං ගොඩක් ගරු කරන ආස කරන දෙයක් ,.   නිවේදනය නිසා තමයි අලෙවිකරණය විෂය තෝරගත්තේ.   කලාව පැත්තෙනුත් ඉදිරි කටයුතු ඒ විදියටම සිදු වෙනවා. 

ප්‍ර - මේ තරම් කාර්ය බහුලවෙලා විශ්වවිද්‍යාල වැඩයි නිවේදන කටයුතුයි කොහොමද පිළිවෙළට කරන්නේ. එපා වෙන්නේ නැද්ද?
පි -අම්මෝ ඔව්,වැඩ ගොඩ ගැහිලා කරගන්න බැරි වුණාම නම් වෙලාවකට  එහෙම හිතෙනවා.   දේශන කට් කරන්න බැහැ.   පැමිණිම ගැන අනිවාර්යයෙන් බලනවා.  පාඩම් අතපසු වුණාම තේරුම් ගන්න බෑ.  ගොඩක් ප්‍රශ්න.  ඒත් මගේ යාළුවෝ ගොඩක් හොඳයි.   ඒ අය උදව් කළා.  මට එන්න බැරි වුණාම ඒ දේවල් කියලා  දෙනවා.   අපේ කැම්පස් භාෂාවෙන් නම් කුප්පි දාලා කොහොම හරි මාව ගොඩ දානවා. 
    මං ඉතින් හැමදාම විභාගයක් ළං වුණාම හිතනවා ඊ ළඟ වතාවෙ නම් කලින් පාඩම් කරනවා කියලා.  ඒත් හැමදාම විභාග ශාලාවට ගිහින් තමයි පොත බලන්නේ.  ඉතින් ඒ වගේ වෙලාවට කාලය කළමනාකරණය කරගන්නේ කොහොමද කියලාත් හිතෙනවා.   දැන් නම් පුරුදුයි. 

ප්‍ර - කොහොමද නිවේදිකාවක් වෙන්න අවස්ථාව ලැබෙන්නේ?
පි -පාසල් කාලයේදිත් නිවේදන කටයුතු මං කළා.   මගේ  ගුරුවරයා වුණේ  වසන්ත ඥානප්‍රිය සර් ,මං මාධව අයියා අලුත් තරුණ පරපුරේ නිවේදන ක්ෂේත්‍රයේ ගොඩක් අයගේ ගුරුවරයා සර්.   ඉතින් 2006 වසරේ අපි කරපු  වැඩසටහනක  නිවේදිකාව විදියට කටයුතු කළේ මම.  ඒ අවස්ථාවට සම්බන්ධවෙලා හිටියා දැන් දෙරණ නාලිකාවේ  විධායක නිෂ්පාදිකා චතුරාණි අබේසුන්දර  මහත්මිය.  එයා මට දෙරණට සම්බන්ධවෙන්න කතා කළා පස්සේ ඉතින් පරීක්ෂණයකින් මාව තෝර ගත්තා.   එතැනින් පස්සේ ළමා වැඩසටහන්, රියැලටි ෂෝ, විවිධ අංශවල වැඩසටහන් රැසක් කරන්න අවස්ථාව මේ වෙද්දි ලැබුණා. 

ප්‍ර - ඉගෙන ගත්ත පාසලයි පදිංචිය කොහේද කියලත් කියමු?
පි - පදිංචිය නම් බොරලැස්ගමුවේ ,ඉගෙන ගත්තේ කොළඹ විශාකා විද්‍යාලයේ

ප්‍ර -කොහොමද.   චැම්පියන් ස්ටාර්ස්.  වලට ලැබෙන ප්‍රතිචාර?
පි - ඇත්තටම  ප්‍රතිචාර නම් ගොඩක් හොඳයි.   වැඩසටහන හරිම රසවත් වෙනස්ම විදියකට තමයි අපි තුන් දෙනා කරන්නේ.    වෙලාවකට කට්ටියම හොඳට බයිටි වෙනවා  සමහරු නම් කියනවා ඒක වැරදියි කියලා.   හොඳ නරක දෙකම තියනවනේ ඉතින්.   ලිට්ල්ස්  ස්ටාර්ස්වලට වඩා ප්‍රේක්ෂකයින් අතරට ගියේ චැම්පියන් ස්ටාර්ස්

ප්‍ර - නිවේදන කටයුතුවලදි මෙතෙක් එකට වැඩ කරන්න ලැබිලා තියෙන හොඳම සහයකයෙක් ඉන්නවද?
පි - මාධව විජේසිංහ තමයි.  අනික් අය නරකයි කියනවා නෙවෙයි.  ඒත් මාධව අයියා එක්ක වැඩ කරන්න ගියාම අපි දෙන්නටම පහසුයි.   එයාට ප්‍රශ්නයක්  වුණත් මට වුණත් දෙන්නට දෙන්නා දන්නවා මේ තැනදි මෙන්න මේ දේ මේ දේ කරන්න ඕනි  කියලා.   අපි හරිම සමීපයි.   අනික අපි පවුලේ හිතවතුන් ගොඩක් පුංචි කාලේ ඉඳන් දන්නවා.   ඉතින් ඒ හැමදේ එක්කම අපි දෙන්නට එකට වැඩ කරන එක ගොඩක් පහසු වෙලා තියෙනවා.   අද වගේම ඉදිරියටත් ඉතින් මට වැඩ කරන්න ලැබෙන හොඳම කෙනා මාධව අයියා තමයි. 

ප්‍ර -රඟපාන්න එන්න කියලා ආරාධනා එන්නේ නැද්ද?
පි -ඒ ගැන ලොකු ආසාවක් නැහැ.  ආරාධනා ලැබෙනවා.  පහුගිය කාලේ නම් වැඩ නිසා සම්බන්ධ වෙන්න බැරි වුණා.  දැන් නම් මං බැහැ කියලා කියනවා මේ දත් කමිබ් නිසා.  රගපාන්න පුළුවන් වෙයිද කියලා දන්නේ නෑ.  ඉදිරියේදී අවස්ථාවක් ලැබුණොත් සම්බන්ධවෙලා බලනවා. 

ප්‍ර - තාරුණ්‍යයේ විලාසිතා ගැන මොකද හිතන්නේ?
පි -විලාසිතාවලට මං ගොඩක් කැමතියි.   පිට රට  නළු නිළියන්ගේ විලාසිතා ගැන මං ගොඩක් බලනවා.  මට ගැළපෙන දෙයක් තිබුණොත් කරනවා.  තරුණ වයසේ  අපිට ගැළපෙන විලාසිතා  අපි කරන්න ඕනි කියලයි මං හිතන්නේ. 

ප්‍ර - මේ  කාර්යබහුලත්වය එක්ක ගෙදරින් ලැබෙන සහය කොහොමද?
පි - ඒ සහය නම් කියලා නිම කරන්න බැහැ.  මගේ අම්මා  තමයි මගේ හැම දෙයක්ම තවමත් කරලා දෙන්නේ.   මං කොහේ ගියත් මා එක්කම එයා ඉන්නවා.  මං වැඩකට යන්න පරක්කු වුණත් එයා තමයි ඉක්මනට මාව ලැස්ති කරලා පිටත් කරන්නේ.   ඇත්තටම මගේ හොඳම යාළුවා මගේ අම්මා කිව්වොත් හරි.  තාත්ති හැම වෙලාවෙම හොයලා බලනවා උදව් කරනවා.  හැබැයි ටිකක් සැරයි.   අවුරුදු 23ක් වුණාට තවම මං අවුරුදු 10 ක ළමයා වගේ තමයි.  සමහර විට අපේ අම්මටයි තාත්තිටයි ඉන්න එකම දරුවා මං නිසා වෙන්න ඇති ඒ දෙන්නා මේ තරම් ආදරේ.  මං  මොන දේ කිව්වත්  ඒ දෙන්නා තමයි මගේ සෙවනැල්ල වගේ ශක්තියක් දෙන්නේ.  ඒ  නිසා මට ලොකු බරක් නැතිව වැඩ කරගෙන යන්න නිදහස තියෙනවා. 

ප්‍ර -ගෙදර අය ඇරුණම  ආදරයෙන්  හොයලා බලන්න ජීවිතේට සම්බන්ධ වුණ ආදරණීය  කෙනකුත් ඇති නේද?
පි - ප්‍රේමය කියන්නේ නම් සුන්දර දෙයක්.   හැබැයි තාම  නම් ඒ සුන්දරත්වය විඳලා නෑ.   මං හිතන්නේ  පුංචි කාලේ ඉඳන්ම තවත් ආදරයක් ඕනි කියලා මට දැනිලා නැහැ.  ප්‍රේමය කියන දේට හදිසි වෙලා නැහැ.   මං හිතනවා මං තවම පරක්කු නැහැ.  වෙලාව ආවම හැම දෙයක්ම වෙයි.  

ප්‍ර - අනාගත බලාපොරොත්තු මොනවද?
පි -මගේ අධ්‍යාපන කටයුතු අවසන් කරලා  ඒ අංශයෙන් හොඳ රැකියාවක් කරන්න ලොකු  බලාපොරොත්තුවකින් ඉන්නේ.   නිවේදනය කවදාවත් රැකියාවක් කර ගන්නේ නැහැ.   නිවේදනය කියන්නේ මං ගොඩක් ගරු කරන දෙයක් නිසා වැඩි දුර ඒ ගැන අධ්‍යයන කරනවා  ඒ දේවල් තව දියුණු කරගෙන ඉදිරියේ ලොකු ගමනක් යන්න තමයි බලාපොරෙත්තුව.




සටහන -දිල්රුක්‍ෂි ග්‍රේරු

http://goo.gl/aCR3aw
Previous Post Next Post