දුප්පතාගේ හිතවතා වෙලා  මේ වස්වල පුංචි තිරයෙන් ඔබ අතරට එන ‘ත්‍රීවීලර් මල්ලි‘  මතකද?  ජනප්‍රිය  වෙළෙද දැන්වීම් කිහිපයක් හරහා නිතර නිතර ඔබට දකින්න ලැබෙන ඔහු වේදිකාව, පුංචි තිරය හරහා කෙටි කලකින් ප්‍රේක්ෂකයින් අතරට  ගිය  රංගන ශිල්පියෙක් .කවුරුත් අදුණන ත‍්‍රීවිලර් මල්ලි   පුජන දංදෙණිය  අපි එක්ක  මේ විදියට කතා බහකට එක්වුණා.


ප‍්‍ර -  ‘ත‍්‍රි වීල් මල්ලි ‘ කිව්වම කවුරුත් දන්නවා  කොහොමද දැනෙන්නේ?

පි- දැන් ගොඩක් දෙනා   මාව දන්නේ ඒ විදියට කිව්වම . පාරක දැක්කත් අහනවා  මං ඇත්තටම ත්‍රීවීල් එලවනවද කියලා.ඉන්න තැන අහනවා.හයර් යන්න කතා කරනවා.ඉතින් ලොකු සතුටක් දැනෙනවා ඒ විදියට ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙද්දී. ඒ හැදින්වීමට ඒ නිසාම කැමැතියි

ප්‍ර- රංගන ශිල්පියෙක් වෙන්න අවස්ථාව ලැබෙන්නේ කොහොමද?

පි- පාසලේ වේදිකා නාට්‍යවලට  මුලින් සම්බන්ධ වෙන්නේ. පසුව උසස්පෙළ කරද්දී රංගනය පිළිබද විවිධ වැඩමුළුවලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා.  ජාතික තරුණ සේවා සභාවේ නාට්‍ය පුහුණු පාසලට ඇතුලු වෙලා රංගනය ගැන හැදැරීම් කළා. විවිධ නාට්‍ය  වැඩමුළු වලට සම්බන්ධ  වුණා. සෝමලතා සුභසිංහ මහත්මියගේ  යෙවුන් හා ළමා රංග පීඨයේ හැදැරීම් කළා, නාට්‍ය වැඩමුළුවලදී මුණගැහුණ ප්‍රවීණ නාට්‍ය ශිල්පිනී කෞෂල්‍යා ප්‍රනාන්දු මහත්මිය හරහා රුක්මාල් නිරෝෂන්ගේ ‘සුළග මහොතක් ‘ටෙලි නාට්‍යයේ රංගනයට මුල්ම දායකත්වය දෙන්න අවස්ථාව ලැබුණා.

ප්‍ර-වේදිකාවට සම්බන්ධ වෙන්නේ කොහොමද?

පි-පාසල් යන කාලේ පාසල් නාට්‍ය ,රාජ්‍ය නාට්‍ය උළෙට ඉදිරිපත් කළ නාට්‍ය වලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ප්‍රසිද්ධ වේදිකාවට හැදැරීම් කරලා  එන්න කලින් වේදිකා පරිපාලක සහයකයෙකු වගේම පෙළ කියවන්නෙකු ලෙසත් කටයුතු කළා.  පියල් කාරියවසම් මහතාගේ  ‘‘රහස් උදවිය‘ ,  සෝමලතා සුභසිංහ මහත්මියගේ විකෘති,තොප්පි වෙලෙන්දා,රත්මලී ,කෞෂල්‍යා ප්‍රනාන්දු මහත්මියගේ ‘ජනහතුරා ‘ වගේ වේදිකා නාට්‍ය රැසකට සම්බන්ධ වෙන්න අවස්ථාව පසුව ලැබුණා.


ප්‍ර -  මෙතෙක් රඟපෑ ටෙලි නාට්‍ය වගේම දායක වුණ වෙනත් නිර්මාණ ගැන මතක් කළොත්?

පි- ‘ආත්ම‘,ස්නේහා,බිනරමලී ටෙලිනාට්‍ය කිහිපයක් වගේම කසුන් කල්හාර මහත්මයාගේ ‘ලිහිණියේ කියන්න ‘ ගීතයට රූප රචනයකිනුත් සම්බන්ධ  වුණා.

ප්‍ර-මේ දවස්වල ඔබව දකින්න ලැබෙන නිර්මාණ  මොනවද?

පි-කෞෂල්‍යා ප්‍රනාන්දු මහත්මියගේ ‘දුටුතැන අල්ලනු ‘වේදිකා නාට්‍ය ,ජනක චමින්ද අත්තනායක මහතාගේ ‘බව හරණ‘ටෙලි නාට්‍ය රූගත කිරීම් සිදු කෙරෙනවා.‘සහේලි‘ ටෙලි නාට්‍ය හිරු ටීවී නාලිකාව විකාශය වෙනවා. සිනමා නිර්මාණ වගේම සම්බන්ධ වුණ වෙළද දැන්වීම් කිහිපයක් මේ වෙද්දී විකාශය වෙනවා.

ප්‍ර-කලාවට එන්න නම් හැදැරීම් කරන්න ඕනි කියලා ඔබ හිතනවද?

පි- රංගනය කියන්නේ ලොකු හැදැරීමක් කරන්න ඕනි දෙයක් .ආවට ගියාට ඒ දේ කරන්න බෑ.ලොකු වගකීමක් තියෙනවා. දක්ෂතාව මත ක්ෂෙත්‍රයේ ඉදිරියට යන්න හිතන ඕනිම කෙනෙක් තමන්ගේ ක්ෂෙත්‍රය ගැන හැදැරීම් කරන්නම ඕනි කියලා හිතනවා.


ප්‍ර-මේ  හැදැරීම්  සහ කලාවේ පැවැත්ම වෙනුවෙන් අද කලා ක්ෂෙත්‍රයේ නවකයින්ට වෙන් වෙලා තියෙන ඉඩ ගැන ඔබට මොනවගේ දෙයක්ද දැනේනේ?

පි- නවකයින්ට ලොකු ඉඩක් තියෙනවා.නමුත් ඒ අයට හැදැරීම් කරන්න ඒ වෙනුවෙන් බිහිවුණ තැන් බොහෝම සීමිතයි.විධිමත් අධ්‍යාපනයක් ඒ වෙනුවෙන් නැහැ.ඇත්තටම ජාතික තරුණසේවා සභාවත් එවැනි  වැඩසටහන් කළ ආයතනයක්.එවැනි ආයතන බිහි වෙනවානම් හොදයි. ඒ වගේම  කලා කාරයෙක් වෙන්න ගමෙන් නගරයට එන ගොඩක් දෙනා  අතරමං වෙන අවස්ථා  තියෙනවා. සමස්ත කලාකරුවෝ වෙනුවෙන් සහ කලාවේ පැවැත්ම වෙනුවෙන් යම් දෙයක් කරන්න පුළුවන්  නම් හොදයි.

ප්‍ර-ඉගෙන ගත්ත පාසල , පවුලේ විස්තරත් ට්කක් කියමු නේද?

පි- මැදවච්චිය මෛත්‍රීපාල සේනානායක ජාතික පාසල සහ අනුරාධපුර මධ්‍ය මහා විදුහල් වල ඉගෙන ගත්තේ, ගම  මැදවච්චිය, අම්මයි නංගිලා දෙන්නයි පවුලේ ඉන්නේ

ප්‍ර-  මේ ආව ගමනේදී ඔබට සහය වුණ බොහෝ පිරිසක් ඇති.ඒ අය ගැන මතක් කළොත්?

පි- මගේ අම්මා ,තාත්තා ගෙදරින් දුන්න පන්නරය, ඒ වගේම පාසලේ නාට්‍ය හා රංග කලා ගුරුවරිය වුණ  දැන් අනුරාධපුර දිස්ත්‍රික් නාට්‍ය හා රංග කලා උපදේශිකා  ජනකා භද්‍රාංගනී ගුරුතුමිය, සමන් පුෂ්ප කුමාර,ශානුක විජේසුන්දර,පියල් කාරියවසම්,  ප්‍රවීණ රගන ශිල්පිනි කෞෂල්‍යා ප්‍රනාන්දු මහත්මිය,ජාතික තරුණසේවා සභාවේ එවකට නාට්‍ය පුහුණු පාසලේ සම්බන්ධිකාරිනිය වුණ කොළඹ දිස්ත්‍රික් තරුණසේවා නිලධාරි වසන්තා කුමාරි මහත්මිය වගේම නම් නොකියවුණ මගේ පිටුපසින්  මාව දිරිමත් කරපු විශාල පිරිසක් ඉන්නවා.

ප්‍ර- තාරුණ්‍යයේ ඔබේ ප්‍රේමය ගැන මතක් කළොත්?

පි-පාසල් කාලයේදී ඇරඹුණ ප්‍රේම කතාවක්.අවුරුදු අටක ප්‍රේමයකින් පස්සේ අපි විවාහ වුණා.බිරිද නවෝදනි සෙනවිරත්න .ඇය කැලණිය විශ්ව විද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව පිළිබද  විශේෂවේදී  උපාධිධාරිණියක් දැන් අනුරාධපුරයේ පාසලක නාට්‍ය හා රංගකලා ගුරුවරියක්  විදියට සේවය කරනවා.


ප්‍ර-  ඇයගෙන් සහ පවුලේ අයගෙන් ලැබෙන  සහය කොහොමද?

පි- ලොකු සහයෝගයක් ලැබෙනවා.මං මේ ආව ගමනේදි විශේෂ ස්තූතියක් ඇයටත් හිමි විය යුතුයි. අම්මා ,නංගිලා ලොකු සහයක් දෙනවා.තාත්තා ජීවත් වෙලා ඉන්නකාලේ මං වෙනුවෙන් ගොඩක් මහන්සි වුණා.හැබැයි මගේ එක නිර්මාණයක්වත් දැක ගන්න ඔහුට අවස්ථාවක් නොලැබුණ එක ගැන ඒ ගැන ලොකු දුකක් මට තියෙනවා. මගේ සෙවනැල්ල  වගේ එදා සිට ඉන්න අම්මා අදත් ඒ වගේමයි.

ප්‍ර- එදා මෙදා තුර කලා ලෝකයේ ඔබ ආ ගමන ගැන මොකද හිතෙන්නේ?

පි- කිසි දිනෙක වෘත්තිමය නළුවෙක් වෙනවා කියලා හිතේ තිබුණේ නැහැ.ආසාව නිසා රඟපාන්න ඇවිත් කෙටි කාලයක් ඇතුලත මේ ආව ගමන ගැන සතුටක් තියෙනවා.

 ප්‍ර- අනාගතයේ බලාපොරොත්තු මොනවද?

පි- කලා ජීවිතේ වගේම පෞද්ගලික ජීවීතේ සාර්ථක කරගන්න, වගේම හොද නිර්මාණවලට සම්බන්ධ වෙලා ජනප්‍රිය නළුවෙක් වෙන්න නෙවෙයි සාර්ථක රංගන  ශිල්පියෙක් වෙන්න‍.





                                                             
(දිල්රුක්ෂි ග්‍රේරු)
 
Previous Post Next Post