‘හිතුවක්කාරී කම නිසා  අරමුණක් නොමැතිව ජීවීතය නාස්ති කරගන්නා තරුණියන්ගේ අසුන්දර කතා අද සමාජයේ කොතෙකුත් අප අසන්නෙමු. එවැනි කතා නිරන්තර ඇසෙන  බෞද්ධ රටක එලෙසම  නිවසින්  පිටමංව  ජීවීතයේ අතරමං නොවී  බුදුන් වැඩි මග ඔස්සේ කසා වතින් සැරසී බණ දම් උගෙන ජීවීතයේ යථාර්ථය මැනවින් අවබෝධ කර සුවහසක්  සිසු පරපුරකගේ නැණස පාදන සමාජය නිවැරදි මගකට ගෙන යාමට නිහඩ මෙහෙවරක නියැලෙන මෙහෙණින් වහන්සේ කෙනෙකු පිළිබඳව ඔබ මීට පෙර අසා තිබෙනවාද?

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ සිංහල හා ජනසන්නිවේදන අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නාවලපිටියේ අනුරාධා සුධම්මිකා මෙහෙණින් වහන්සේ  අභියෝග මැද ජයගත් ජීවිතය ගැන   මේ විදිහට සුහද පිළිසඳරක නියැලුණා.......‘  
ප්‍ර-  ඔබට පැවිදි වෙන්න හිතෙන්නේ ඇයි?
පි- කවුරුහරි මගෙන් ඇහුවොත් කවුරු වෙන්නද කැමැති කියලා එදා මං කිව්වේම මහණ වෙනවා කියලා විතරමයි.ඒ කාලේ මෙහෙණින් වහන්සේ කෙනෙක් දැකලා තිබුණෙත් නෑ. ඒත් හැමදාම හිතේ තිබුණේ මහණ වෙනවා කියන හැගීම විතරමයි.යමක් තේරුම් ගන්න පුළුවන් වයස එද්දී ඉදන් සිතුවිල්ල හිතේ තැන්පත් වෙලා තිබුණා. තුන් වැනි වසරේදී සංඝමිත්තා මෙහෙණින්වහන්සේගේ පාඩම  ගැන ඉගෙන ගද්දී ඒ ආශාව වැඩි වුණා .මට හිතුණේම මම කවදා හරි ඒ වගේ වෙනවා කියලා.
 ප්‍ර - අවුරුදු 14 දී   ගෙදර අයට ලියුමක් ලියලා තියලා  ආරාමයක් හොයාගෙන  නිවසින් පිටත් වෙන ඔබට මෙහෙණියක් වෙන්න අවස්ථාව හිමි වෙන්නේ කොහොමද?
පාසලේ බොහෝ දෙනා දැනගෙන හිටියා මං මහණ වෙන්න ආසාවෙන්  ඉන්න  කෙනෙක් කියලා. නිතරම යාළුවන්ගෙන් අහද්දී ඒ අය කියලා තිබුණා නාවලපිටිය පැත්තේ ආරාමක් තියෙනවා කියලා.ඒ වගේම ඒ අය නිතරම කියනවා ඒ  භික්ෂුනි ආරාමය තියෙන තැන හරිම ලස්සනයි කුරුල්ලෝ කෑ ගහනවා ලේන්නු ඉන්නවා. මෙහෙණින් වහන්සේ කෙනෙක් හැමදාම මල්වලට වතුර දානවා ඒ වගේ දේවල් නිසා ඉතින් දවසින් දවස පැවිදි  වීමේ ආසාව වැඩිවුනා මිස අඩු  වුණේ නෑ. එදා  නිවසින් පිටත් වුණ දවසේ තාත්තාගේ දින පොත ඇතුලෙන් ලියුමක් ලියලා දාලා පාසල් ගියා. විදුහල්පතිතුමියටත්  කියලා මං හවස පාසල් ඇරිලා ආවා.මාව ගෙදර එක්ක යන්න මගේ  දෙවැනි අයියා එනවා. එදත් ඇවිත් හිටියා මම අයියාව පෙනී පෙනී යාළුවෝ එක්ක බස් එකක නැගලා ගියා.

එදා මං යාළුවෝ එක්ක ගිහින් ඒ ආරාමයට යද්දී මගේ හිතේ මැවිලා තිබුණු  රූපේ තිබුණා.අර කිව්ව මෙහෙණින් වහන්සේ මල්වලට වතුර දානවා. ඉතින් මාව දැක්ක ගමන්  ‘එන්න දරුවා‘ කියලා හරි ආදරෙන් කතා කරලා මාව ආරාමය ඇතුලට එක්ක ගියා. ලොකු මෙහෙණින් වහන්සේ හිටියේ නෑ.

 පසුව ගිනිගත්හේනේ සුසිලා සෝබනී ලොකු මෙහෙණින් වහන්සේ ආවට පසුව  . මගෙන් ඇහුවා ඇයි  මේ විදයට ආවේ කියලා මං කිව්වා මහණ වෙන්න ඕනි කියලා. ගෙදරට කියලද ආව් ඇහුවම මං කිව්වා නැහැ ඒ අය කැමති නැ ලියුමක් ලියලා තියලා  විදුහල්පතිතුමියටත් කියලයි ආවේ  කියලා .ලොකු මෙහෙණින් වහන්සේ ඒ කතාවට  කට කොනකින් හිනා වුණා. අද වගේ මතකයි.  මෙහෙණින් වහන්සේ කලබල වුණේ නෑ  මාව ආපහු හරවලා යැව්වේ නෑ. මගේ විස්තර අහන ගමන් පොත්පත් බැලුවා. ඒ ක්‍රියාව හරිම බුද්ධිමත්  දෙයක් විදියට මං දකිනවා.

පස්සේ දාන ශාලාවට එක්ක ගිහින් කිරි හොදි සම්බෝල එක්ක පාන් පෙති තුනක්  දුන්නා කන්න කියලා. ලස්සන ගවුමක් ඇදගන්න දුන්නා .බඩගිනිත් නෑ මොනදේ වුණත් හිතේ   පොඩි බයකුත්  තිබුණා. ගෙදර අය මාව හොයනවා ඇති කියලා ඒ බය නිසාම එදා කෑම කන්නත් බැරි වුණා. හරි උපක්‍රමශිලීව පහුවදා වෙනකල් මාව තියාගත්තා. 

පහුවදා පාන්දරම ලොකු මෙහෙණින් වහන්සේ ළඟ ගෙදරක ළමයෙකුට එන්න කියලා විදුහල්පතිතුමියට ලියුමක් යැවුවා. දායක සභාවටත් දැනුම්දීලා තිබුණා. ගොඩක් මගේ පන්තියේ යාලුවන්ගේ මව්පියන් හිටියේ ඒ ආසන්නයේ  ඉතින් ඒ අයගෙන් මගේ විස්තර අහද්දී   මං පන්තියේදීත් මේ දෙවල් නිතර නිතර කියන එක තහවුරු වුණා.  මම ආරක්ෂිතව ආරාමයේ ඉන්නවා කියලා ගෙදරට සහ විදුහල්පතිතුමියට ආරාමයෙන් යැවු  ලියුමත් අරගෙන  ගෙදර හැමෝම එක්ක විදුහල්පතිවරියයි ගුරුවරු  දොළොස් දෙනෙකුත් එක්ක මාව බලන්න ආවා.

එදා   දායක සභාවත් එකතුවෙලා එදා ලොකු සභාවක් වගේ තිබුණා. අම්මා තාත්තා සහෝදරයෝ හැමෝම අඩනවා. මමත් අඩනවා. වෙනස් නාට්‍යක කොටසක් වගේ වුණා. ඉතින්  ඒ  වේලාව හරිම සංවේදී අත්දැකීමක් වුණා. අම්මා නම් ගොඩක් විරුද්ධ වුණා.  අයියලා අක්කලා මාව බදාගෙන අඩන්න ගත්තා.ඒත් මං දැක්කා තාත්තා මගේ දිහා බලන් ඉදලා කිව්වා. ‘ඒ දරුවා මහණ වෙන්න ඕනි කියලා හැමදාම කිව්වා එයාගේ කැමත්ත එකනම් එකට ඉඩ දෙන්න‘.  කියලා.  සතුටකුත් එක්ක ඒ ඇස්වල කදුළු පිරිලා තිබුණා මං දැක්කා.  මාව ශාසනයට භාර කළා කියලා  ලිඛිතව දෙන්න කියලා තාත්තාට  ලොකු මෙහෙණින් වහන්සේට කිව්වා. තාත්තා ලියුමක් ලියලා අත්සන් කරලා දුන්නා. මගේ තීරණය මොකද්ද කියලා අහද්දී ඒත් අඩ අඩා මං කිව්වේ මට මහණ වෙන්න ඕනි කියලා විතරයි . මගේ තාත්තා එදා ඒ තීරණය නොගත්තානම් අද මට  මහණ වෙන්න බැරිවෙයි. ඒ පින මගේ තාත්තාට හිමි වෙනවා.

1986 වසරේ  දෙසැම්බර් 15 වැනි උදුවප් පෝය දවසේ සංඝමිත්තා මෙහෙණින් වහන්සේගේ දිනය දවසේ අනුරාධපුර ජයශ්‍රීමහා බෝධින් වහන්සේ ඉදිරිපිටදී තමයි මං පැවිදි සිල් සමාදන් වෙන්නේ. මට හිතෙනවා ඒ සිදුවීම දෛ්‍යෙවා්පගත සිදු වීමක් කියලා. පසුගිය 15 වැනිදාට මගේ පැවිදි දිවියට වසර 29 ක් වෙනවා.

බොහෝම කාලයකට පසුවයි  දැනගත්තේ  එදා මං ගෙදරින්  ආව දවසේ දෙවැනි අයියා  අඩාගෙන ගෙදර ගිහින් තිබුනා මං නැහැ කියලා. කැලඹීම කොතරම්ද කියනවානම් රෑ හත අට වෙනකල් මාව හොයලා  තියෙනවා. කන්නෙත් නැතිව අඩ අඩා ඉදලා ගෙදර හැමෝම. පස්සේ දෙවැනි යි තාත්තාගේ දින පොත බලද්දි තමයි ලියුම දැකලා තිබුණේ.  නමුත් ඒ සිදු වීමෙන් පස්සේ එදා පාසල් ගිය  මාව එක්ක යන්න බස් නැවතුම්පොළට ආව අයියා අවුරුදු අටක් යන කල් මගේ මුණවත් බැලුවේ නෑ. තරහකට නෙවෙයි එයා හරි ආදරෙයි  ඉතින් මං ඒ කරපු දේ එයාට ඒ තරම් දරා ගන්න බැරි වෙන්න ඇති.

ප්‍ර- ලියුමක් ලියලා තියලා ගියේ හිතුවක්කාරී ගමනක් ඒක වැරදියි නේද?
බුදුන් වහන්සේ දේශනා කරනවා තමන් යමක්  කරනවා නම්  ඒ දේ   දෙවරක්  හොදට හිතල බලලා  කරන්න. තමන්ට, ඇසුරු කරන අයට මව්පියවන්ට ගුරුවරුවන්ට අයහපතක් නම් අවලාදයකට ලක් වෙනවා නම්  ගැටලු ඇති වෙනවා නම් කොයිතරම් කැමැති දෙයක් වුණත්  ඒ දේ   අතහරින්න කියලා . මං ඒ දේ දැනගෙන නොවයි කළේ .නමුත් අද හොද බුද්ධිමත් තීරණයක් කියලා හිතෙනවා.  සමාජයේ  හිතුවක්කාරී  කියන වචනය කියන්නේ වැරදි පැත්තට කරන ක්‍රියා .හැබැයි ඒ දේ යහපත් දෙයක් නම් හිතුවක්කාරී වෙන්නේ නෑ.  අද වයසින් වැඩි හරියක් ගෙවලා ඉවර  මම  කිසිම කෙනෙකුට ඒ දේ කරන්න කියලා  කිසිම දවසක  කියන්නේ නෑ. මොකද ඒ ගමන ඒ තරම් අවධානම් ගමනක්. එදා මට තිබුණ ආසාව නිසා අවස්ථාව ලැබුණ සැණින් මං නොගියොත්  පැවිදි වෙන්න බැරිවෙයි කියලා හිතුවා.  වැරදි දෙයකට  යොමු නොවුණ නිසා  මේ විදියට ඉන්නවා. නමුත් එදා ඒ ආවේගය වැඩි, ඇතැම් වේලාවට හිතෙනවා මං එහෙම දෙයක් කළාද කියලා.

ප්‍ර-  දැන් මව සහ පියා සහෝදරයෝ මොකද කියන්නේ?
දැන් නම් ඒ අය ශාසනගත කෙනෙක් ඉන්නවා කියලා හිතනවා ඇති. .මාව බලන්න එනවා. මං හිතනවා ඒ අයගේ හිතේ සතුටක් ඇති මං ගත්තු තීරණයෙන් වරදක් වුණේ නෑ කියලා මට

ප්‍ර- එදා තාත්තාගේ දින පොත යටින් තියලා ආව ලියුමේ මොනවද ලිව්වේ මතකද?
මං පැවිදි  වෙන්න ගොඩක් කැමැත්තෙන් ඉන්න නිසා  පැවිදි වෙන්න ආරාමයක් හොයාගෙන යනවා. මං ගැන හොයන්න කලබල වෙන්න එපා.මට අවසර දෙන්න කියලා ලිව්වා මතකයි.

ප්‍ර- ශාසනයට ඇතුලු වෙන්න කලින්  ගෙදර අයත් එක්ක ගෙවුණ ජීවීතේ කොහොමද?
මං ඉගෙන ගත්තේ නාවලපිටිය ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයේ.  ඒ කාලේ හරිම සුන්දර කාලයක්. මට අයියලා තුන්දෙයි,අක්කා කෙනෙක් සහ මල්ලියෙක් හිටියා. අපි කවදාවත් රංඩු වුණේ නෑ. අපේ ගෙදර ලොකු වත්තක් තිබුණා ඉතින් පාසල් ගිහින් ඇවිල්ලා කෑම කාලා  දුවන්නේ වත්තට . ගිහින් පළතුරු කනවා සෙල්ලම් කරනවා.  අද දරුවන්ට නැති ඉතා සුන්දර ළමා කාලයක් මට තිබුණා. මව්පියන් වුණත් හරිම ආදරණිය ආදර්ශමත්මත් චරිත. සැර වැර කළේ නෑ. ඒගේම තමයි මොන දේ  කළත් හවස හය හමාර වෙද්දි මල් තියලා පහන් පත්තු කරලා වන්දනා කරනවා. ගාථා හයියෙන් කියන්න  වරදදන්න බෑ .එහෙම වුනොත්  ආයේ මුල ඉදන් කියන්න ඕනි. ආයෙත් හැරිලා බලද්දී ගෙදර ගෙවපු කාලෙට ඇදිලා යන තරමට සුන්දරයි. එදා මට කියන්න ඕනිකම තිබුණත් මට මහණ වෙන්න ඕනි කියලා මව්පියන් ඉස්සරහා ඒක මට කියා ගන්න බැරි වුණා .ඒ නිසා තමයි අවස්ථාව ලැබුණු වෙලාවේ මං ඒ වගේ දැඩි තීරණයක් අරගත්තේ. හැබැයි කිසිම දවසක රිදුමක් නිසා පැවිදි වුණේ නෑ.

ප්‍ර- පාසලේ ඔබ එදා මොනවගේ චරිතයක්ද?
පාසල් කලේ  යළුවන් අතර ලොකු ගැටුම් තිබුණේ නෑ. ඇතැම් යාළුවෝ නම් ගොඩක් වෙලාවට  පොත් පත් හංගාගෙන තනියම පාඩම් කළා. මට නම් එහෙම දෙයකුත් තිබුණේ නෑ.  මං පාඩම් කරන්න තියෙන එකත් ළමයින්ට දෙනාවා. යාළුවෝ එකක් ලොකු මිත්‍රශිලී බව තිබුණා. ගුරුවරුත් හරි ආදරෙයි..ඒ වගේම හොදට ක්‍රීඩා කරලා නීරෝගීමත්ව හිටිය කෙනෙක්. මං හිතනවාමං එදා කළ දේවල් අද ඉගෙන ගනිද්දී   ලොකු පිහිටක් වුණා කියලා.

ප්‍ර- පාසල් අධ්‍යාපනයෙන් පසු විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා එන ගමන කොහොමද?
සාමාන්‍ය පොළ උසස්පෙළ  විභාගවලට පෞද්ගලික අයදුම්කරුවෙන් ලෙස පෙනී ඉදලා ඉතා ඉහළින් සමත් වුණා. නාවලපිටිය සුදර්මාරාමය කියලා පෞද්ගලික අධ්‍යාපන ආයතනය පුනරීක්ෂණ පන්ති ගිහින් විභිගය කලේ . පිරිවෙන් අධ්‍යාපනය තිබුණේ නැහැ. බුද්ධ ධර්මය, සිංහල, පාලි සහ බෞද්ධ ශිෂ්ටාචාරය  විෂයන් උසස් පෙළ  කලා අංශයේ  ලංකාවේ තුන්වැනියා .  දිස්ත්‍රික්කයෙන් පළමුවැනියා වෙලා පේරාදෙණිය විශ්ව විද්‍යාලයට තේරුණා. ගිහියෙක් විදියට හිටියනම් විද්‍යා ගණිත වගේ විෂයක් තෝරාගන්න තිබුණා . විශ්ව විද්‍යාලයට මං යන්නේ ත්‍රිපිටකය ඉගෙන ගන්න ආසාවෙන්. ඒත් සිංහල ඉගෙන ගන්න වුණා.

 ප්‍ර- විශ්ව විද්‍යාල කාලයේ අත්දැකීම්  කොහොමද?
විශ්ව විද්‍යාලය ඇතුලේ කාලය ගොඩක් සුන්දරයි ගැහැණු , පිරිමි භේදයක්  තිබුණේ නෑ. භිටිය එකම භික්ෂුනීය නේවාසික වෙලා හිටියේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ රමනාදන් කාන්තා ශිෂ්‍ය නේවාසිකාගාරයේ. දේශනශාවලට එන්න කිලෝමීටරයක් විතර එන්න ඕනි. ඇතැම් වෙලාවට අඳුර වැටුණම අයියලා අක්කලා මාව නේවාසිකාගාරය ළගටම ඇරලවනවා. මට ලොකු ගෞරවයක් ආරක්ෂාවක් අනික් අයගෙන් ලැබුණා . කිසිම දවසක  තරගයක් තිබුණේ නෑ. ඉතින්  විශ්ව විද්‍යාලයෙත් අවසන් අවුරුද්දේ  හොදම ප්‍රථිපල ලැබුණා.

ප්‍ර-ඒ කාලයේ ප්‍රේම සම්බන්ධතා සඳහා ඇරයුම් ලැබිලා ඇති නේද?
ප්‍රේමය කියනදේ මං දකින්නේ ගොඩක් පටු දෙයක් විදියට.මගේ යොවුන්  කාලේ මං ගෙවන්නේ විශ්ව විද්‍යාලයේදී. නොයෙක් අය මුණ ගැහෙනවා. ඉතින් ඒ හැම දෙනා එක්කම තිබුණේ ලොකු මිත්‍රශිලී බවක් . මං පැවිද්දෙක් , ජීවත් වුණේ ගිහි පිරිසක් එක්ක ඒ දේ මං හොදින් තේරුම් අරන් හිටියා. මං ගැන එහෙම හිතුණ අය හිටියත්  ඒ අයට ධෛර්යක් නැති වෙන්න ඇති  ඒ  ගැන මගෙන් අහන්න. එහෙම අවස්ථා නොතේරුණාම නෙවෙයි. නමුත් ඒ වගේ අයට අනුබල දෙන විදියට වැඩ කළෙත් නෑ. ඒක සහෝදර බැදීමක් විතරමයි.හැම වෙලාවෙම් ඒ රාමුව තියාගෙන ඉන්නවා. ස්වාභාවයෙන්ම ඒ හැගීම් තේරුම් ගන්න පුළුවන් විදියටයි මේ ජීවියා හැදිලා තියෙන්නේ කියලා මං හිතනවා. බැල්මෙන් කතාවෙන් හැසිරීමෙන් හැමදේම තේරුම් ගන්න පුළුවන්නේ. අපි දහසකට කතා කළත් අපි වැඩි පුරම කතාකරන්නේ ප්‍රිය චරිතවලට විතරයි. එහෙම චරිත තිබුණා .නමුත්  ඒ හැම බැදීමක්ම නෙළුම්පතක රැදි පිණිබිංදුවක් වගේ.  ප්‍රකාශයට පත් නොවුණ මිත්‍ර බන්ධන විතරයි.

(ඉතිරි ොටස ලබන සතිේ)

සටහන -දිල්රුක්ෂි ග්‍රේරු 
ඡාhdrEm -m%oSma oUrf.a
























Previous Post Next Post