ප්‍ර- විශ්ව විද්‍යාල ආචාර්යවරියක් වෙන්නේ කොහොමද?
පි- විශ්ව විද්‍යාලයේදී ඉහළින්ම සමත් වුණාම මට  විශ්ව විද්‍යාල ආචාර්යවරියක් විදියට වැඩකරන්න පුළුවන් කියනදේ මගේ විශ්ව විද්‍යාලයෙන් දැනුම් දීලා  තිබුණා. නමුත් පසුව මම භික්ෂුනියක් නිසා එදා මට ලොකු අවහිරතාවක් ආවා ලංකාවේ කොහේවත් මෙහෙණින් කෙනෙක් ආචාර්යවරියක් විදියට  බදවාගැනීම් කරන්නේ නෑ කියලා. ඒ වචනය එදා මට ගොඩක් රිදුනා.  කෙනෙක් රිදුම් වලින් නැගිටිනවා කියනදේට හොදම උදාහරණයක් මම. එදා මගේ ජීවීතේ ලොකු සන්ධිස්ථානයක් වුණා. මං එදා හිතුවා දවසකට හරි විශ්ව විද්‍යාල ආචාර්යවරියක් වෙනවා කියලා.

මගේ ඒ සිතුවිල්ල පෝෂණය කරන්න බොහෝ දෙනෙක් හිටියා.මගේ විශ්ව විද්‍යාල ආචාර්යවරයෙක් වුණ මහාචාර්ය වරකාවේ ධම්මාලෝක නායක  හාමුදුරුවන්ටත් මේ සිදුවීම ගැන ලොකු පසුතැවීමක් තිබුණා. පසුව නායක හාමුදුරුවන් මට ලිපියක් මගින් දැනුම් දුන්නා   විශ්ව විද්‍යාල ආර්යවරුන් බදවා ගැනීමට අයදුම්පත්‍රයක් පුවත්පතක තියෙනවා කියලා. පසුව මං එයට අයදුම් කළා.  උන් වහන්සේ 2007 වසරේදී අපවත් වුණා.
ඉතින් ඒ අනුව පළමු පත්වීම  කැලණිය විශ්ව විද්‍යාලයේ  තාවකාලික සහකාර කථිකාර්ය වරියක් විදියට අවුරුදු දෙදකට මාව තෝරාගත්තා  . පේරාදෙණිය විශ්ව විද්‍යාලයට සම්මුඛපරීක්ෂණයට ගියාට මාව තෝර ගත්තේ නෑ. නමුත් මට විශ්ව විද්‍යාල තුනක අත්දැකීම් තියෙනවා. කැලණිය විශ්ව විද්‍යාලයේ එවකට පීඨාධිපති  මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු සර් , අංශ ප්‍රධාන මහාචාර්ය ගුණවර්ධන නානයක්කාර සර් . ඊටපසුව ඒ පළපුරුද්ද එක්ක ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාර්යවරියක්  වෙනවා. එවකට  එහිි උපකුලපති මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර  සර් අංශ ප්‍රධානී මහාචාර්ය සුනිල් ආරියරත්න සර්. ඉතින් අද දවසේ  මම විශ්ව විද්‍යාල ආචාර්යවරියක් කියන ගෞරවය හිමි වෙන්නේ ඒ අයට. මට මගේ දැනුමට ඒ අවස්ථාව නොදුන්නම් මට මේ ගමන එන්න වෙන්නේ නෑ.විශේෂයෙන් මහාචාර්ය සුනිල් ආරියරත්න සර්ට ඒ ගෞරවය හිමි වෙනවා.
ප්‍ර-තරුණ පිරිසත් එක්ක වැඩි කාගයක් ගෙවෙද්දී  යොවුන් සිතුවිලි පැවිදි ජීවිතේ  ගැටුමක්  ඇති වුණේ නැද්ද?
පි- එහෙම කවදාවත් දැනිලා නෑ. මං පැවිදි  වුණේ මගේ කැමැත්තට  කියන දේ  සහ ගෙදර අය අකමැත්තෙන්  කියන දේ මගේ හිතේ ශිලා ලිපියක් වගේ  තදින් කා වැදී තියෙන දෙයක් . ඉතින් එහෙම වෙන්න ඕනී නැ. වැරද්දක් කරලා නිවසට යන්න බෑ ආපහු. මං වැරදි කළොත්  බුදුන් වහන්සේට වංචා කරන්නේ .ඒ දේ තදින් හිතේ තියාගෙන වැඩ කරපු කෙනෙක් මං. ඉතින් ඒ නිසා කිසිම දවසක යොවුන් සිතුවිල වල ගැටුමක් ඇති වුණේ නෑ.මං වැරදි කරන්න හීනෙකින්වත් පෙළඹුණේ නැහැ.

ප්‍ර- භික්ෂුනීය ,කාන්තාව, කියන චරිත ඇතුලේ මේ සමාජයේ ගැටෙද්දී  හුදෙකලා බවක් දැනිලා නැද්ද?
පි- එහෙම අවස්ථා තියෙනවා. විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්න කාලේදී යමි යම් ක්‍රියාකාරකම් වලදී භික්ෂුනියක් නිසා මං ඒ අවස්ථාවලට ගැලපෙන්නේ නෑ නේද  කියලා හිතුණා . මං එහාට යන්නද මෙහාට යන්නද හිතෙන අවස්ථා තිබුණා.  මට මතකයි එක් වතාවකදී  බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී   පැවැති උත්සවයකදී එවකට ඉංග්‍රිසි අධ්‍යන අංශයේ අංශ  ප්‍රධානවරිය මගෙන් ඇහුවා මේ තරම් පිරිසක් ඉදිරියේදී මේ විදියට නිවුණ චරිතයක් වෙලා මෙහෙම ඉන්නේ කොහොමද ? කොහොමද ඒ  හිත හදාගත්තේ කියලා?  ඒ දේට මං ගොඩක් කැමැතියි. මං ගිහියෙක් නෙවෙයි කියනදේ  තේරුම් අරගෙනයි මං හැම වේලේම වැඩ කළේ. කිසිම  දවසක කලකිරිමක් ,රිදුමක් ඇති වෙලා නෑ . හරිම සතුටින් ගෙවුණා. කිසිම කෙනෙක් භික්ෂුනීයක් කියලා මාව තනි කරලා නෑ. වේලාවකට තනිකම ගොඩක් හොදයි නේද කියලා හිතුණ තැන් තියෙනවා.
විශ්ව විද්‍යාලයයෙන්  එළියට ඇවිල්ලා වැඩකටයුතු කරද්දී නම් ඇතිවුණ ගැටලු ගැටලුමයි. ඒවගේම ගැටළුවලට මුහුණ දෙන්න වුණ ආකාරයත් එක්ක මං අසරණවුණ තැන් බොහෝමයි. මිනිස්සු මොනතරම් ආත්මාර්කාමීද හිතුණා.ජීවිතේ සැබෑව තේරුම් ගන්න හොදම අවස්ථාවක් මට එදා උදා වුණා. මං ඒ හැම බාධකයක්ම ඉතා ඉවසීමෙන් නිහඩව ජයග්‍රහණය කළා තවමත් ඒ දෙවල් ජයගනිමින් පවතිනවා කියලයි මට දැණෙන්නේ.

ප්‍ර- අද ලංකාවේ භික්ෂුනි ශාසනයට  නිසි ගෞරවයක් තැනක් හිමි වෙනවාද?

පි-  ඒ තත්ත්වය නම් ඉතාම කණගාටුයි. මේ  බෞද්ධ රටේ  බුද්ධ ධර්මය නියෝජනය කරන කාන්තා පාර්ශවයට ක්‍රිස්තියානි ආගමේ කන්‍යා සොහොයුරියකට  තියෙන පිළිගැනීමක්වත් නෑ කියලා මං දිකින්නේ. අද අපේ පොඩි සිල්මාතාවන්ට තමන්ගේ අනන්‍යතාව තහවුරු කරගන්න  ජාතික හැදුනුම්පතවත් නෑ. පෞද්ගලිකවත් අයදුම් කරලා විභාගයකට පෙනී හිටින්න ඒ අයට අවස්ථාවක් නෑ. පිරිවේන් අධ්‍යාපනයත් නෑ.  මම එදා බොහෝම අමාරුවෙන් ඉගෙන ගත්තා.  අද අතරමං වුණ තත්ත්වයක් තියෙන්නේ. හාමුදුරුවරුන්ට ගිහියන්ගෙන් සිවුරු පොත්, පත් ලැබුණට මෙහෙණින් වහන්සේලාට සිල් මෑණිවරුන්ට ඒ තත්ත්වය නෑ. මගේ  අධ්‍යාපනය ඉන්නා තැන නිසා මට ගෞරවයක් හිමිවෙනවා. නමුත් සාමාන්‍ය  මෙහෙණියක් විදියට එළියට යන මට තියෙන්නේ  අර පිළි ගැනීමයි. ලංකාවේ තාම භික්ෂුනි ශාසනයට නිසි තැනැක් නෑ කියලයි මං දකින්නේ. හැබැයි සාමාජීය වශයෙන් පිළිගැනීමක් තියෙනවා.

ඉතින් රටේ ජනාධිපතිතුමා මේ ගැන සෙවීමක් කළ යුතුයි. අපි භික්ෂුන් වහන්සේලාගේ අනු දැනුම එක්ක හැමදේම කරන්නේ. ඉතින් නායක හමුරුවන් වුණත් ගන්නා හැම තීරණයක්ම නිවරදි කියන්න බෑ.
එවකට රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමන් සමයේදී  බෞද්ධ කටයුතු කෙමෙසාරිස් විදියට හිටිය  අභය වීරකෝන් මහතා භික්ෂුණි ශාසනය රැක ගන්න  විශාල පියවරක් ගත්තා. එහි ප්‍රථිපලයක් විදියට 1996 දී ප්‍රථම වරට  සිල්මාතාවන්  උපසම්පදා කරන්න  අවස්ථාවක් සලසා ගන්නවා. උපසම්පදාව සදහා සිල්මාතාවන් තෝරා ගැනීමේ එහිදී විවිධ ගැටුම් ඇති වෙනවා. ඒ නිසා ඒ උපසම්පදාව ලංකාව පිළිගත්තේ නෑ. නැවත රාජ්‍ය අනුග්‍රහය ඇතිව මෙහෙණින්වහන්සේලා  29 දෙනෙක්   ඉන්දියවේ සාරානාත්වලට  එක්ක ගිහින් උපසම්පදා කළා. ඒ පිරිසක් තමයි අද දඹුල්ල ප්‍රදේශයේ උපසම්පදාව කරගෙන යන්නේ. මම උපසම්පදා වෙන්නෙත් 2010 වසරේදි ඊට හේතුව යම් යම් කරුණු නිසා මම කාලයක් උපසම්පදාවට විරුද්ධ වුණා. ඉතින් මං දකින්නේ බුද්ධ නිතීය මුලීකව කටයුතු කළා නම්  භික්ෂුනී ශාසනය ප්‍රතික්ෂේප කරන්න අවශ්‍යතාවක් නෑ.


ප්‍ර- වර්තමානයේ යෞවන ප්‍රේමය දකින්නේ කොහොමද?

පි-මට ගොඩක් තියෙන්නේ විශ්ව විද්‍යාලයයේ තුල දකින්න ලැබුණු දේ විතරයි. නමුත් සමස්ථයක් විදියට ගත්තම අද යෞවනත්වයේ ප්‍රේමයේ  ලොකු ඛේදවාචකයක් මං දකිනවා. ඉස්සර  යොවුන් ප්‍රේමය හරි සුන්දරයි .හරි ගෞවරනීයත්වයක් ඒවගේම එකිනෙකාට ගරු කිරීමක් තිබුණා. අද නම් කොහේවත් එහෙම පිවිතුරු  ප්‍රේමයක් ,එකම එක්කේනාට ආදරය කිරන පිරිසක් අද දකින්න ඇති කියලා මං විශ්වාස කරන්නේ නැහැ.  ඉස්සරනම්  පෙම් හසුන් ලිව්වා,කවි ලිව්වා, ආදරයෙත් හොද සාහිත්‍ය රසයක් තිබුණා. එකිනෙකාගේ හැගීම් හරි අපුරු විදියට බෙදා ගත්තා. හැගීම් ප්‍රකාශනය හරි සුන්දරයි. නමුත් අද එස් එම් එම් එස්  එකකට සීමා වෙලා ප්‍රේමයක ඇරැමුමක් මතක නෑ. විශ්ව විද්‍යාලයේදී පවා මේ වගේ දේවල් මට නිතර දෙවේලේ දකින්න ලැබෙනවා.පිරිමි ළමයි ගැහැණු ළමයි කියලා වෙනසක් නෑ.බොහෝ දෙනාට ආදරය කරන්න දෙතුන් දෙනා ඉන්නවා.  මානසික බැදීම් වලට වඩා කායික බැදීම්වලට ඒ අය මුල් තැන දීලා. අතරමං වෙලා.ප්‍රේමයේදී එකිනෙකාට තියෙන ගෞරවය,විශ්වාසය,බොහෝම වැදගත්

මට මේ මෑතකදී යුවළක් මුණ ගැහුණා. ඒ අය කිව්ව කතාවක් තමයි අවුරුදු නවයක් ආදරේ කරලා .ඉන්න හිටින්න තැනක්වත් නැති කාලෙක  විවාහවෙලා  අවුරුදු 25ක් වුණ දවසේ ඒ  ප්‍රෙමය වෙනුවෙන් චෛත්‍යක් හදලා පුජා කළාලු. දැන් ලොකු දරුවෝ ඉන්නවා  ඒ අය අදත් එදා වගේම ආදරෙන් ඉන්නවා.ඉතින් අර වගේ ප්‍රේම කරන සමාජයක් ඒ වගේ ආදර්ශමත් අදහන්න ඕනි චරිතත් ඉන්නවා නේද කියලා මට හිතුණා.  
ගෘහ ජීවිතයකවත් බොහෝ දෙනාගේ එහෙම නෑ. ආරවුල් ගැටුම් විතරයි තියෙන්නේ. ඒ දේවල් සමාජයේ විශල වශයෙන් මං දකින්වා. මේ පීතෘ මුලික සමාජයක් ඉතින් මට වෙලාවකට හිතෙනවා මේ රටේ බොහෝමයක් ස්වාමීවරු සහ බිරින්දෑවරු තමන්ගෙන්ම ප්‍රශ්න කර ගත යුතුයි තමන්ගේ මේ ඕලාරික සිතුවිලි එක්ක මම ඉන්නේ කොතැනද කියන දේ.ඒ දේවල්වලට හේතු ඇති. ඒත් බුදු දහමට අනුව ඒවා වැරදි දේවල්.

ප්‍ර- වර්තමානයේ අන්තර්ජාලය ,දුරකතන ෆේස් බුක්  වගේ නොයෙක් සමාජ හරහා සිදුවන විවිධ වැරදි ක්‍රියා නිසා බොහෝ දෙනෙක් නොමග යනවා.මේ දේවල් වළක්වාගන්න නම්  ඔබ හිතන විදියට මොනවද කරන්න ඕනි.

පි- අද සමාජයේ ෆේස් බුක් ,ජංගම දුරකතන  වගේම නොයෙක් සමාජ වෙබ් අඩවි වල හිර වුණ සමාජයේ ආශ්‍රයක් නැති හැගීම් දැනීම්,යාළුවෙක් වත් නැති පිරිසක් තමයි අපිට මුණ ගැහෙන්නේ.බොලදකම නිසා නොමග යන පිරිස වැඩියි. ඒ අයගේ හැගීම් වෙනස් පුංචි දෙයක්වත් ඉවසන්න බෑ කෙන්ති ගන්නවා. ඉවසාගන්න බැරි තැන අවසාන ප්‍රථිපලය මරනවා.
 ඒ දේවල් නැති  වෙන්න නම්  මුලිකම දේ වැඩිහිටියන් තමන්ගේ දරුවන් මොනවද කරන්නේ කියන  දේ ගැන අවධානයෙන් ඉන්න ඕනි ලොකු වගකීමක් මව්පියන්ට තියෙනවා.දහම්පාසලකට අද දරුවන් යන්නේ නෑ. ඒවා විභාගවලට විතරයි සිමා වෙලා තියෙන්නේ.ඒ වගේම තමයි මොන දේ කළත් තමන්ගේ පින් පව් කුසල් අකුසල් කියන දේ නම්  බලපානවා .ගොඩක් වෙලාවට තරුණ ගැහැණු ළමයි පිරිමි ළමයි ගමෙන් නගරයට ඇවිත් රැකියා කරද්දී  නොයෙක් විදියට රැවටීම් වලට හසු වෙනවා. බොහෝ වෙලවෙට රැකියා කරන ආයතනවල වැටුප් මදි .ඒ වගේ වෙලාවට නොයෙක් වැරැදි දේට යොමු වෙන අවස්ථා තියෙනවා. බුදු දහම අනුව ජීවත් වෙලා හොද හික්මීමක්  ඇති සමාජයක් නිර්මාණය කරන්න  වගකිව යුත්තන් මේ රටේ සිදු වෙමින් පවතින ව්‍යසනය නවත්වන්න පියවර ගන්න ඕනී.

ප්‍ර- මේ තරම් හැල හැප්පීම් මැද්දෙන් මේ ආව ගමනේ අද මේ ඉන්න තත්ත්වය ගැන මොකද හිතෙන්නේ?

පි- මං ගොඩක් බාධක මැද ඉගෙන ගත්තා . විශ්ව විද්‍යාල ආචාර්යවරියක් වුණා . අභියෝග රැසක් ජයගත්තා .ඒ හැමදේම මගේ මහන්සිය, කැපවීම විදියට මං දකිනවා. භික්ෂුනීයක් විදියට පළමු විශ්ව විද්‍යාල ආචාර්යවරිය වුණා. භික්ෂුනීන් වහන්සේලාට නිසි තැනක් නැති, පිළිගන්නේ නැති රටක මේ වගේ ආව දුෂ්කර ගමනක මං ආවා.තවමත් යනවා.එහෙම හැරිලා බලද්දී මට වීරත්වයක් ,අභිමානයක් දැනෙනවා. මං මේ සමාජයට ලොකු අභියෝගයක් කරලා තියෙනවා කියලා මට හිතෙනවා. පරාජය භාර ගන්න මං සුදානම් නෑ. ඒ වගේම ස්ත්‍රීත්වය,පැවිදි බව කිය කිසිම දෙයක් බාධක ජය ගන්න හේතුවක් නෙවෙයි කියලා මං දකිනවා.
ප්‍ර-  ඔබ අද බුද්ධ ධර්ම අනුව ජීවිතය හැඩගස්සවාගන්න මෙහෙණියක් .මේ විදියට  රැකියාවක නියෙලෙනවා  වැටුපක් ලැබෙනවා ඒ දේ වරදක්  නෙවෙයිද?
පි- මං මුලින් කිව්වා වගේම කිසි දිනෙක රැකියාවක් කිරීමේ අරමුණින් ඉගෙනගත්තේ නෑ. අභියෝගයක් ජයගැනීමයි කළේ. නමුත් ඒ වෙනුවෙන් මං විශාල කැපවීමක් කළා. පොත පත කියෙව්වා. පාඩම් කළා.හරි අමාරුවෙන් ආව ගමනක්.ඒ දැනුමට මට රැකියාව ලැබුණා. මගේ වැටුප බොහෝ දෙනාට ගැටලුවක් වුණ අවස්ථා තියෙනවා. බුදුන් වහන්සේගේ කාලයේදීත් තමන්ගේ දැනුම අනික් අයට  බෙදා දදුන්නා. නමුත් එදා වැටුපක් ලැබුණේ  නැහැ.නමුත් ගිහියන් ගෙන් ඊට  ප්‍රතිඋපකාර ලැබුණා.වර්තමානයේ දළදා මාලිගාවේ  තේවාවේ කටයුතු කරන භික්ෂුන් වහන්සේට ඒ වැටුප ලැබෙනවා. ඉතින් මගේ මේ කිසිම දෙයක් මට කවුරැත් බන්දේසියක තියලා ගෙනත් දුන්න දේවල් නෙවෙයිනේ මං මහන්සියෙන් උපයාගත්ත දේවල්. අද රටේ සාමාන්‍ය කෙනෙක් වැටුප පිළිබදව දකින විදියට නෙවයි මම වැටුප දකින්නේ වෙනත් කෝණයකින්. මට මේ දැන් වුණත් මේ සියලු දේ හැර යා හැකියි. නමුත් මේ තනතුරේ වටිනාකම මං දැන් දන්නවා.ඒ වෙන දෙයක් නිසා නෙවෙයි. සමාජයේ යහපත් දෙයක් කරන්න නම් මේ තනතුර බොහෝ උපකාරී වෙනවා. අහිංසක දරුවන්ට පොත්පත් ටිකක්වත් අරන්දෙන්න පුලුවන් වෙන්නේ මං මේ විදියට හිටියොත් විතරයි.ඉතින් මට ඒ දේ කරන්න මගේ දැනුම උයෝගී කරගන්න ඕනි. යහපත වෙනුවෙන් නම් මං උපයාගන්න මුදල වැය කරන්නේ එය වරදක් කියා මං දකින්නේ නැහැ.
ප්‍ර- භික්ෂුනී ශාසනයේ පැවැත්ම වෙනුවෙන්  ඔබ යම් දෙයක් කිරීමට අපේක්ෂා කරනවාද?
පි-ඔව් ඒ අරමුණින්පාදුක්ක ,ඉහළ බෝපේ , උක්ගල්ල ප්‍රදේශයේ  භික්ෂුණි ආරාමයක් සදමින් පවතිනවා. මාස හතක් වෙනවා වැඩ ආරම්භ කරලා.එය හදන්න මූලික අරමුණ භික්ෂුනී  පුහුණු මධ්‍යස්ථානයක් වෙනුවෙන්. මං හිතනවා  භික්ෂුනී ශාසනය ඇතුලේ අතරමං වෙලා ඉන්න අපේ  සිල්මෑණිවරු පිරිසෙන් අඩු තරමින්  දහ දෙනෙකුවත් නිවැරදි හික්මවීමක් යටතේ නිවැරදී මාර්ගයක අරන් යන්න නිසි අධ්‍යාපනයක් දෙන්න මට ඒ තුලින් හැකියාව ලැබෙයි. ගමේ දායකයින්ගෙන් ලැබෙන උපකාර සහ මගේ වැටුප ඒ වෙන්වෙන් කැප කරලා භික්ෂුනී ශාසනයේ පැවැත්ම උදෙසා ඒ කටයුතු කරනවා. තවමත්  මෙහි වැඩ කටයුතු නිම වෙලා නැහැ. ඒ සදහා දායකත්වයක් දෙන්න කැමැති පින්වතුන් ඉන්නවානම් ශසනය වෙනුවෙන් පිනක් කරගන්න හැකියාව තියෙනවා. ධර්මශාලාවක්,පුස්ථකාලයක් ඇතුලු අධ්‍යාපනය ලබන්න අවශ්‍ය සියලු දේ මෙහි නිර්මාණය කරන්න ලෑස්තියි. මේ කිසිම දෙයක් මං උදෙසා සිදු කරන දේවල් නෙවෙයි . බුද්ධ ශාසනයේ පැවැත්ම වෙනුවෙන් පමණයි. අභියෝග මැද ආව ගමනේදී හික්මීමක් ඇති දෙවැනි පරපුරක් ඇති කළ යුතුයි කියා මා විශ්වාස කරනවා.


සටහන -දිල්රුක්ෂි ග්‍රේරු
ඡායාරූප ප්‍රදීප් දඹර
(පසුගිය සතියෙන් )



Previous Post Next Post