‘පවුලට එකතු වුණ පුංචි අමුත්තා  දැන් ඇගේ මුළු ජීවීතයම වෙලා . පුංචි තිරයේ අහිංසක , කටකාර, දඟකාර චරිතවලට පණ පොවපු  ඇය ඒ නිසාම දැන්නම් ටිකක් නිහඩ චරිතයක් වෙලා.
මේ හැම දේමත් එක්ක ඉස්සර තනියෙන් හිටිය  කෙල්ල කාලේ වගේ දැන්නම් චණ්ඩිකම් පෙන්නන් බෑ කියලත් ඇය අපිට කිව්වා . ජීවීතේ අලුතින් සිද්ධවුණ මේ වෙනස්කම් මොනවද කියලා දැනගන්නත් එක්කම අපි තරුෂි පෙරේරාගෙන් ඇහුවා ‘මේ දවස්වල මොකද කරන්නේ‘ කියලා.‘

ප්‍ර - ජීවීතේ ලොකු වෙනසක් වෙලා  ඒ නිසාම ලොකු සතුටකින් කියලා ආරංචි මොකද්ද  ඒ කතාව ?

පි-  ඔව් . ජීවිතේ ගොඩක් අලුත්වෙලා. මගේ පුංචි පුතාට දැන් මාස හතයි. එයා වෙනුවෙන්ම  මේ දවස්වල  කාලය වැයවෙන්නේ.  මොහොතක්වත් පුතාගෙන් ඈතට යන්නේ නෑ. කාර්යබහුල වගේම ගොඩක් සතුටින් ඉන්නේ එයා නිසා.

ප්‍ර-  පුංචි පුතා දග මල්ලක්ද?

පි- ටිකක් විතර දගයි.මේ කාලේ  ඉතින් දගලන හොදම කාලේනේ. මට තියෙන ලොකුම වදේ ඉතින් එයා කෑම කන්න හොරයි.ඉතින් ඒ නිසාම ලොකු අමාරුවක මාව වැටෙනවා එයාගේ ඒ වැඩ කරන්න ගියාම.

ප්‍ර-කාලෙකින් පුංචි තිරයේ දකින්න නොලැබුණේ රංගනයෙන් ඉවත් වෙලාද?

පි - මේ දවස්වල නම් ඉතින් පුතා නිසා රංගනයෙන් තාවකාලිකව ඉවත් වෙන්න සිදුවෙලා. පහුගිය කාලේ මාව අවශ්‍යමයි කියලා කතා කරපු ටෙලි නාට්‍ය දෙකක් විතර ප්‍රතික්ෂේප කරන්නත් වුණා.ඒ වගේමයි පුතා ලැබුණට පස්සේ රංගනයෙන් දායකත්වය දෙන්න මං තාම ඒ විදියට හැඩගැහිලා නෑ.මං වෙනුවෙන් කිසි දෙයක් කරලා නෑ.  කොහොමත් පුතාට අවුරුද්දක්වත් වෙනකල් රංගනයට සම්බන්ධ වෙන්නේ නෑ.තවම ඒ ගැන හිතන්නවත් කාලයක් ගත්තේ නැති තරම්.

ප්‍ර- ඔබ අවසන්වරට දායකත්වය දැක්වු  නිර්මාණය මතකද?

පි-  සම්පත් ශ්‍රී රෝෂන් මහත්මයාගේ  ‘ධවල කදුළු‘ ටෙලි නාට්‍ය. භාර ගත්ත වැඩ කළා. අලුතින් කිසිම දෙයක් භාරගත්තේ නෑ.

ප්‍ර- ව්‍යාපාරීක කටයුතුවලිනුත් ඈත් වෙලාද?

පි-  නැහැ.  භාරගත්ත වැඩ  විතරක් කරනවා. මගේ රූපලාවන්‍ය ආයතනය මාදිවෙල මගේ නිවසෙමයි තියෙන්නේ ඉතින් මගේ කාර්යබහුලත්වය එක්ක දැන් ඒ දේ මට පහසුයි.   තෝරලා බේරලා කිසිම ප්‍රශ්නයක් ඇති නොවෙන්න ඒ දේවල් කරනවා.

ප්‍ර- ඉස්සර වගේ නෙවයි දැන් මවක් , බිරිදක් විදියට මේ තරම් කාර්යබහුල වෙද්දි ඔබේ වගකීම් මගහැරෙන්නේ නැද්ද?

පි -නැහැ. මං මොන දේ කලත් මගේ පවුල කියන දේට මූලිකත්වය දෙනවා .තෝරා බේරාගෙන ඒ හැමදේම කරනවා .මහත්තයාගෙනුත් ලොකු සහයක් ලැබෙනවා.මේ දවස්වල නම් එයා ටික කාලයකට විදේශගත වෙලා ඉන්නේ.ඒත් අපි ගැන නිතරම හොයනවා බලනවා කතා කරනවා.  දැන්නම් ගොඩක් පුතාගේ වැඩ කාල සටහනකට  අනුව වගේ මගේ අතින් සිදු වෙනවා. ඉස්සර  කෙල්ල කාලේ වගේ දැන් චණ්ඩිකම් බෑනේ.වගකීම් වැඩි, අත්දැකීම් ලබන්න ලබන්න ජීවිතේ ලොකු වෙනස්කම් වෙනවා.

ප්‍ර-සැමියා රගපාන්න එපා කියන්නේ නැද්ද?

පි- එහෙම බලපෑමක් නෑ.හැබැයි වෙලාවකට කියනවා දරුවා බලාගෙන මට ඉන්න කියලා.නමුත් ප්‍රේක්ෂක ප්‍රතිචාර ,මගේ  නිර්මාණ දැක්කම එයා ඒ හැම දේකටම ඉඩ දෙනවා. මාව තේරුම් අරන් සහයෝග දෙනවා හැම දේකටම.

ප්‍ර-මවක් විදියට පළමු අද්දැකීම ලබද්දී මොනවගේ හැගීමක්ද දැණුනේ මතකද ඒ දවස?

පි- ඒ සතුටනම් වචනයකින් විස්තර කරන්න බෑ. මං අම්මා කෙනෙක් කියලා දැනගත්ත දවසේ ඉදන්ම මම ලොකු සතුටක් වින්දා.ඒ වගේ මම ගොඩක් පරිස්සම් වුණා. හැමදේම කළේ  පුංචි පැටියාගේ අනාගතේ ගැන හිතලා.ඉතින් දරු පැටියගේ මුණ දැක්ක මං ආයෙත් අලුත් වුණා කියලා මට හිතුණා.

ප්‍ර-දැන් හිතෙනවද පවුල සම්පුර්ණයි කියලා?

පි- හිතේ තිබුණ ලොකු බලාපොරොත්තුවක් තමයි මේ ඉෂ්ට වුණේ .ඉතින් මං දැන් සම්පුර්ණයි.
ප්‍ර- ඔබේ වැඩකටයුතුවලට පවුලේ අනික් අයගෙන් ලැබෙන සහය කොහොමද?

පි - එදා ඉදන්ම  ඇත්තටම ලොකු සහයෝගක් මට තියෙනවා . දැන් සැමියත් ලංකාවේ නැති වෙලාවේ ලොකුම හයියක් වෙලා ඉන්නේ අම්මා,නංගිලා,මල්ලී, පවුලේ හැම දෙනාම .මගේ පුංචි පුතා වුණත් ඒ අය එක්ක පාලුවක් නැතිව ඉන්නවා. ඉතින් ඒ සහය ගැන වචනකින් කියලා නිම කරන්න බහැ.

ප්‍ර- ටෙලිනාට්‍ය වලට අමතරව සිනමාව, වෙදිකාවට සම්බන්ධ වෙන්නේ නැද්ද?

පි-  සිනමාවට නම් සම්බන්ධ වෙලා නැහැ.ඒකට හේතු තිබුණා.බොහෝ වෙලාවට  මට ගැලෙපන නිර්මාණ ලැබුණේ නැහැ.වේදිකා නාට්‍ය නම් සහන් රන්වල මහත්මයාගේ  ‘වේලාව කීයද‘ වේදිකා නාට්‍යයේ රගපාන්න අවස්ථාවක් ලැබුණා. මගේ පළමු වේදිකා  නාට්‍ය  හොද  තාත්වික නිර්මාණයක්. අවුරුදු දොළහක් දහතුනක් වගේ  රංගන ශිල්පිනියක්  විදියට මේ එන ගමනෙදී වැඩිපුරම දායතක්වය දැක්වුයේ ටෙලි නාට්‍ය වලට. සිනමාවේ හොද නිර්මාණ ලැබුණොත් භාර ගන්නවා.

ප්‍ර- ඔබ රග පෑ චරිත අතෙර්  වැඩි කැමැත්තක් දක්වපු චරිත තිබුණද?

පි- තිබුණා. ‘මං හින්දා‍’  නාට්‍යයේ  නිමාලිගේ චරිතයට ගොඩක් කැමතියි. ඒ වගේම ලක්ෂ්මන් පුෂ්පකුමාර මහතාගේ හදපානගල කියන ටෙලි නාට්‍ය  මට විශේෂ වුණා සම්මානයක් ලැබුණා ඒ  රංගනය වෙනුවෙන් .ඒ වෙද්දී මගේ පුතා ලැබිලා දවස් දොළහක් වගේ .

ප්‍ර- ඔබ රගපෑ නිර්මාණ අතරින් වඩාත් ප්‍රතිචාර ලැබුණ නිර්මාණ මතක් කළොත් ?

පි-  සුදු අරලිය, මුතු පලස, කාව්‍යා, මයුමි, 'ළා සඳ පාමුල''සොඳුරු ගිම්හානය' 'රිදී සිත්තම්' 'සත්‍ය' වගේම තව හොද ප්‍රතිචාර ලැබුණ නිර්මාණ තියෙනවා.

ප්‍ර-  වඩාත්ම සංවේදී  වගේම සතුටු දැණුන දවසක් මතකද?

පි- මම මව් පදවිය ලබන්න  සුදුසුකම් ලැබුණු දවස සහ  මවක් වුණ දවස
ප්‍ර-රඟපාන්න ලැබුණ චරිත අතෙර් මෙතෙක් නොලැබුණ රඟපාන්න කැමැත්තක් ඇති චරිතයක් තියෙනවද?‍
පි- කාන්තාව කියන චරිතේ සමාජයේ විවිධ බාධක කම්කෙටාලු මැද ජීවීතය ගෙන යන චරිතයක්.ඉතින් ඒ සැබෑ කාන්තා චරිතයට පණ දෙන්න තියෙනවනම් ගොඩක් ආසයි.

ප්‍ර-  වර්තමානයේ ටෙලි නාට්‍ය ගැන මොකද හිතෙන්නේ?

පි- ගොඩක් බොළද නිර්මාණ තියෙන්නේ. ඒ ගැන කණගාටුවකුත් තියෙනවා. ප්‍රේක්ෂකයට ගන්න දෙයක් නෑ වගේම ඒ චරිතයට සාධාරණයකුත් නෑ. ඉතින් මං නම් හිතන්නේ අද ප්‍රේක්කයෝ මෝඩ නැහැ ඒ අය හොද  දේ තෝරා ගනීවී.

ප්‍ර- රංගනයට හැදැරීමක් අවශ්‍යද?

පි- අත්තටම ඕනි. රංගනය කියන්නේ ආවට ගියාට කරන දෙයක් නෙවයි. හොද හැදැරීමක්,අධ්‍යනයක් ඔනි .මේ වගකීමක් ඇති  කලාවක්.

ප්‍ර- පුංචි තිරයේ අහිංසක චරිත වලට ඔබ කොටුවෙලා නේද?

පි- අහිංසක චරිතම ලැබෙන්නේ මගේ පෙනුම නිසා වෙන්න ඇති. කොකොටුවීමක් නෑ විවිධ චරිත රඟපාලා තියෙනවා.

ප්‍ර- ඔබ තවමත් ජනප්‍රියයි කියලා හිතනවද?

පි- ඔවි තවමත් එහෙමයි කියලා දැනෙනවා. රංගනෙයන් ඈතට ගිහින් ලොකු කාලයක් නෑ .ඒත් ප්‍රේක්ෂකයින්ගේ හිත්වල තවම ඉන්නවා කියලා දැනෙනවා ලැබෙන ප්‍රතිචාර වලින්.

ප්‍ර- තරුෂි පෙරේරා කියන්නේ කවුද?

පි- ඇත්ත කතා කරන්න කැමැති. පොළොවේ පය ගහලා ජීවත් වෙන කෙනෙක්. ක්ෂේත්‍රයේදී නිළියක් හැබැයි සාමාන්‍ය ජීවීතේදී  මමත් සාමන්‍ය කෙනෙක්.

ප්‍ර- අනාගතයේ බලාපොරොත්තු  මොනවද?‍

පි- ගොඩක් තියෙනවා.ඉදිරියේදී හොද නිර්මාණවලට දායක වෙන්න ඒ වගේම පුතාට හොද අනාගතයක් හදන්න ලොකු හීනයක් තියෙනවා. පෞද්ගලික ජීවීතේ වගේම වෘත්තීමය ජීවීතේත් ඉදිරියට ලොකු වෙනස්කම්  සිදුවේවි. ඒ වෙනස් වීම් ගැන ලබන අවුරුද්දේ මැද වගේ වෙද්දී මගේ ප්‍රේක්ෂකයින්ට කියන්නම්.













   




(දිල්රුක්ෂි ග්‍රේරු)

http://goo.gl/2jsc32


Previous Post Next Post